ලංකාවේ අපි කවුරුත් හින්දි සිනමාවට දක්වන්නේ සුවිශේෂ ලැදියාවක්. සමහරවිට කතාව නිසා, එහෙමත් නැත්නම් සංගීතය නිසා, එහෙමත් නැත්නම් රංගනයෙන් දායක වෙලා තියන නළු නිලියෝ නිසා වගේ මොනවහරි හේතුවක් නිසා අපි කවුරුත් හින්දි සිනමාවට ආදරෙයි. නළු නිලියෝ ගැන කියද්දීම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ  බොලිවුඩයේ සුපිරි ඛාන් ලා තුන් දෙනා ගැන. ශාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ ආමීර් ඛාන්: බොලිවුඩ් සිනමාවේ නම තියපු තවත් ඛාන් ලා කිහිපදෙනෙක් ම හිටියත් මේ සුපිරි ඛාන් ලා සිනමාවේ තියපු මතක හිටින සටහන් නම් කවදාවත් අමතාක වෙන එකක් නෑ. ඒ අතරිනුත් ආමීර් ඛාන් කියන්නේ නළුවෙක් විදිහට වගේම චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් සහ නිෂ්පාදකයෙක් විදිහටත් නමක් තියපු කෙනෙක්.

මොහොමඩ් ආමීර් හුසේන් ඛාන්, එහෙමත් නැත්නම් ආමීර් ඛාන් සිනමාවට එකතු වෙන්නේ 1973 දි. ඒ “යාදොන් කි බාරාත්(Yadon Ki Baarat)” චිත්‍රපටයෙන්. ප්‍රථම වතාවට ඔහු  ප්‍රධාන චරිතයක් නිරූපණය  කරන්නේ  1988 දි කයාමත් සෙ කයාමත් තක්(Quamat Se Quamat Thak) චිත්‍රපටයේ. බොහෝ දෙනෙක් ආදරෙන් වැළඳ ගත් උදිත් නාරායන් සමගින්  අල්කා යාග්නික් ගයන  “අයෙ මෙරේ හම්සෆර්” ගීතය ඇතුලත් වෙන්නේ මේ චිත්‍රපටයේ. එතනින් පටන් ගත් ආමීර් ගේ සිනමා ගමන අද වෙද්දි ඉන්දියානු රාජ්‍ය සිනමා සම්මාන, ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනූ, ඒ වගේම ඇකඩමි සම්මානයට පවා නිර්දේශ වුණු ලෝකයට ම මතක හිටින ගමනක් වෙලා හමාරයි.

1. PK ( පීකේ )

2014 වසරේදී තිරගත වුනු පීකේ චිත්‍රපටය ආමීර් ඛාන් මෙහි රංගනයෙන් දායක වෙන්නේ පීකේ කියන නමින්ම ඉන්න මනුෂ්‍ය ස්වරූපයක් තියෙන පිටසක්වල ජීවියෙකුගේ චරිතයකට. පීකේ ගේ පෘථිවි සංචාරයේදී ඔහු මුහුණ දෙන විවිධාකාර අත්දැකීම් සමුහයක් අවසානයේ ඔහු විසින් ආදරය හඳුනාගන්න ආකාරයත්, අන්ධ විශ්වාසයන් හි ඇලී ගැලී ඉන්න ඉන්දියානු ජන සමාජයක ඇස් අරවන ආකාරයත් කතාව පුරා දිවෙනවා.

2014 වසරේදී තිරගත වුනු පීකේ චිත්‍රපටය ඉහල ආදායම් වාර්තා තබන්නට සමත් වුණා. කොතරම් ඉහල ද කිව්වොත් පීකේ තමයි බොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටයේ වාර්තාව තියලා තියෙන්නේ. ඒ වගේමයි ලෝකයේ වැඩිම අදායම් ඉපයූ චිත්‍රපට අතරින් 70 වෙනි ස්ථානයට හිමිකම් කියන්නෙත් පීකේ. රාජ් කුමාර් හිරානි සහ ආමීර් ඛාන් සුසංයෝගය අදායම් වාර්තා වෙනුවෙන්ම නිර්මාණය වෙලා වගේ කියලත් හිතෙන තරම්. විචාරක ප්‍රසාදයට පාත්‍ර වුණු පීකේ, උපහාසයත්, ආදරයත්, කැටිවුණු තරමක විද්‍යා ප්‍රබන්ධ රසයකුත් කැටි වුණු හරවත් විනෝදාත්මක චිත්‍රපටයක්. ඉන්දියානු සමාජය තුල මුල් බැසගෙන තියන ඇතැම් හරයක් නැති විශ්වාසයන්ට තදබල පහරක් එල්ල කරපු චිත්‍රපටයක් විදිහටත් පීකේ හඳුන්වන්න පුළුවනි.

ස්ටාර් ගිල්ඩ් සම්මාන 5ක් සහ 60 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ නිර්දේශ 8 ක් සහ සම්මාන දෙකකට හිමිකම් කියන්නට මේ සිනමා කෘතිය සමත් වුණා. ඒ හොඳම තිර රචනය සහ හොඳම දෙබස් රචනය වෙනුවෙන්. ඒ වගේම හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශිත නම් අතරටත් එක් වුණා.

2. ත්‍රී ඉඩියට්ස් (3 idiots)

2009 දි තිරගත වුනු මේ චිත්‍රපටය රාජ් කුමාර් හිරානි ගේ අධ්‍යක්ෂණයක්. එතෙක් කලක් තිරගත වී පළමු සතිය ඇතුලත වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය විදිහටත්, පළමු දිනයේ සහ පළමු සති අන්තයේ වැඩිම අදායමක් ඉපයූ චිත්‍රපටය විදිහටත් ත්‍රී ඉඩියට්ස් වාර්තා තබන්නට සමත් වුණා. පෙරදිග ආසියානු කලාපයේ සහ චීනය තුල තිරගත වී සාර්ථකත්වයට පත් වූ අතලොස්සක් හින්දි සිනමාපට අතරටත් මෙය එක් වුණා. විදේශ රටවල ප්‍රදර්ශනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 65ක් උපයන්නට සමත් වූ මෙයට  චේතන් භගත් ගේ five point someone කියන නවකතාව පාදක වෙලා තියෙනවා. 2012 දි නන්බන් නමින් කොලිවුඩ් සිනමාවටත්, 2017 දි මෙක්සිකානු නිෂ්පාදනයක් විදිහටත් ත්‍රී ඉඩියට්ස් නැවත තිරගත වී තියෙනවා.

මුල් නිර්මාණයේ ආමීර් ඛාන් රංගනයෙන් දායක වෙන්නේ රන්චෝදාස් ශාමල්දස් චන්චාද් එහෙමත් නැත්නම් හැමෝම දන්නා විදිහට රංචෝ ගේ චරිතයට. කතාවේ විදිහට රංචෝ ඉංජිනේරු විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තට පසුව වසර 10 ක් තිස්සේ කිසිම තොරතුරක් නැහැ. ඔහුගේ යාළුවන් දෙදෙනා, ෆර්හාන් සහ රාජු රංචෝ සොයාගෙන යන ගමනේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන කාලයේ මතක දිග හැරීමක් විදිහටයි කතාව ගලාගෙන යන්නේ.

හාස්‍යය, ආදරය වගේම මිත්‍රත්වයේ අගයත් කැටි වුණු, ඒ විතරක් නෙවෙයි, ජීවිතයේ හරයත් එකතු වුණු බොහොම අපුරු නිර්මාණයක් තමා ත්‍රී ඉඩියට්ස් කියන්නේ.

3. තාරේ සමීන් පාර් (taare zameen par)

මේ චිත්‍රපටය නම් නොදන්නා කෙනෙක් නෑ. 2007 දි තිරගත වුණු තාරේ සමීන් පාර් සඳහා ආමීර් ඛාන් රංගනයෙන් දායක වුණා පමණක් නෙවෙයි, අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනයත් ඔහු ගේ. සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ මේ චිත්‍රපටය 2008 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයයි.

අඩුපාඩු තිබුණත්, හැම දරුවෙක් ම විශේෂ බවත්, ඇතැම් වෙලාවට ඔවුන්ගේ හැකියාවන් ලෝකයම මවිත කරන්නට සමත් වෙන බවත් කියවෙන සංවේදී නිර්මාණයක් වුණු මේ චිත්‍රපටය විශේෂයෙන්ම දෙමාපියන් විසින් නැරඹිය යුතුම චිත්‍රපටයක්. විචාරක අවධානයට වැඩියෙන්ම ලක් වුණු චිත්‍රපටයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඩිස්ලෙක්සියා රෝගයෙන් පෙලෙන දරුවන් ගේ දෙමයියන් අතරින් මේ චිත්‍රපටය නැරඹූ දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන පෙරටත් වඩා ආදරයෙන් සහ දයාවෙන් යුතුව කටයුතු කරන්නට පටන් ගත් බව කියවෙනවා.

4. දංගල් (Dangal)

ආමීර් ඛාන් මෑත කාලීනව ඉතාමත් සාර්ථකත්වයට පත් වුණු චිත්‍රපටයක් විදිහට දංගල් නම් කරන්න පුළුවනි. මේ චිත්‍රපටය තිරගත වුණේ 2016දි.අධ්‍යක්ෂණය කළේ නිතේෂ් තිවාරි. ආමීර් රංගනයට අමතරව මේ සඳහා සම  නිෂ්පාදනයෙනුත් දායක වෙලා තියෙනවා. මේ කතාවට පාදක වෙන්නේ තමන්ගේ දියණියන් දෙදෙනාම ලෝක මට්ටමේ මල්ලවපොර ශූරියන් බවට පත්කරන්නට කැපවුණු ඉන්දියානු මල්ලවපොර ක්‍රීඩකයෙකු වන මහාවීර් සිං පොගත් ගේ ජීවිත කතාව. මහාවීර් ගේ කැපවීම ගොඩක් ඉන්දියානු තරුණියන් ට මල්ලවපොර ක්‍රීඩාවට යොමු වෙන්නට බලපෑමක් වුණා. කතාවේ මූල බීජය වශයෙන් යොදාගත් සංකල්පය විචාරකයන් ගේ විශේෂ ප්‍රසාදයට ලක් වුණා. 62 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ක්‍රියාදාම චිත්‍රපටය යන සම්මාන චිත්‍රපටය විසින් දිනාගනිද්දී ආමීර් ඛාන් මෙහි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.

5. ගජිනි (Gajini)

2005 දි දමිල චිත්‍රපටයක් ලෙස එළිදැක්වුණු ගජිනි චිත්‍රපටයේම නැවත නිර්මාණයක් තමයි 2008 වසරේදී එම නමින් ම හින්දි සිනමාවට එක් වන්නේ. අධ්‍යක්ෂණය කළේ ඒ. ආර්. මුරුගදෝස්. සංගීතය ඒ. ආර්. රහ්මාන් ගේ. ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් වන ගජිනි ඉන්දියානු රසික ප්‍රජාව ආදරයෙන් වැළඳගත් බව නොරහසක්. ඒ බව ආදායම් වාර්තා වලින් හොඳටම පැහැදිලි වෙනවා. ස්ටාර් ඩස්ට් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයක් දිනගන්නටත් ගජිනි සමත් වුණා.

කතාව ගලා යන්නේ අමතක වීමේ රෝගයකට ගොදුරු වුණු ව්‍යාපාරිකයෙක් සහ ඉන් අනතුරුව ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවක් ඔස්සේ. ත්‍රාසය, භීතිය සහ කුතුහලය සමගින් ප්‍රේක්ෂකයාට හොඳ වින්දනයක් ලබා දුන් චිත්‍රපටයක් විදිහට ගජිනි නම් කරන්න පුළුවන්.

ආමීර් ඛාන් කියන්නේ හුදෙක් ප්‍රේම ජවනිකා වලට පමණක් සීමා නොවුණු රංගනයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරමින් ඔහු නිරූපණය කළ සියලු චරිත වලට සාධාරණය ඉටු කළ සුපිරි නළුවෙක්. වීරයා විතරක් නෙවෙයි, දුෂ්ටයාගේ චරිතය වුණත් ඉතාම අපුරුවට නිරූපණය කරන්නට ඔහු සමත්. අනෙක් නළුවන් ගෙන් ඔහු වෙනස් වෙන්නෙත් ඒ නිසයි. ඔහුගේ කුසලතාව වටහා ගන්නට ඉහත කි සිනමා නිර්මාණ වලින් එකක් වුනත් සෑහේවි. මේ අතරින් කීයක් ඔබ නරඹා ඇතිද කියන එක ගැන හිතලා බලන්නත්, මෙතෙක් නරඹපු නැති සිනමා පට නරඹන්නත් මේ ලිපිය උදව්වක් වේවි.

1 Comment

    ඔය චිත්‍රපට ඔක්කොම බලල තියෙනවා.
    ඔයිට ටිකක් වෙනස් විදිහෙ චිත්‍රපටයක් ආමීර් ඛාන් ගෙ මුල් කාලෙ ආවා “රාඛ්” කියල. බලල නැති අය බලන්න. යූටියුබ් එකේ තියෙනවා.
    මේ ඒකෙ ට්‍රේලර් එක:
    https://youtu.be/1E5yVJl1JEY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *