අපි හැමෝම රසවින්දනයට කැමති.රස වින්දනයට එය සිනමා කෘතියක්ද,ගීතයක්ද,නර්තනයක්ද, නාට්‍යක්ද කියලා විශේෂ නෑ. හැබැයි අපේ රසවින්දන මට්ටම විවිධාකාරයි. එක කලා නිර්මාණයක් තවත් කෙනෙක්ට දැනෙන විදියට නෙවේ අනෙක් කෙනාට දැනෙන්නේ.ඔබට රසවත් කලා නිර්මාණයක් තවත් අයෙක් අකමැති වෙන්න පුළුවන්.එක සිනමා,ගීත,නර්තන,නාට්‍ය වලට සීමා වෙන දෙයක් නෙවෙයි.නවකතා,කෙටි කතා වගේ සාහිත්‍ය නිර්මාණවලටත් මේ කාරණාව පොදුයි.අපි මේ ගෙනෙන්නේ ලංකාවේ ජනප්‍රිය වූ පොත් 6ක් ගැන සටහනක්. මේ පොත් අතිශයින් ජනප්‍රිය වුණා වගේම මේ පොත් වලට කැමති අකමැති අය වශයෙන් දෙපිරිසකුත් සමාජ මාධ්‍යවල බෙදිලා කතා කරනවා දැකගන්න පුළුවන් වුණා…

1. බුදුන්ගේ රස්තියාදුව

මේකේ කතුවරයා තමයි කේ.කේ.ශ්‍රීනාත් චතුරංග.මේ පොත නමින්ම රටම අවුලවපු පොතක් වුණා. බුදුන්ගේ නම භාවිතා කිරීම හරහා කැළඹිලි ඇති කරලා, නෙගටිව් මාකටින් එකක් දියත්‍ කරලා පොත් විකුණාගන්න ගහපු උප්පරවැට්ටියක් කියලා තමයි සමහරු මේ පොත හැඳින්වුවේ. තවත් සමහරු මේ පොත ගැන හොඳ කියමින් විචාරයේ යෙදිල සහ ප්‍රචාරණය ලබා දීල තියනවත් දකින්න ලැබුණා. අවසානයේදී පොතේ විරුද්ධවාදීන් විසින් පොතේ අනවසර pdf පිටපත් පවා අන්තර්ජාලයට එකතු කරන්න කටයුතු කරලා තිබුණා.

2. සෙංකොට්ටං

මෑත කාලයේ ලංකාවේ හිට්ම වුණු පොත මොකද්ද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම ඒ සෙංකොට්ටං කියලා ගොඩක් දෙනෙක් කියාවි. සෙංකොට්ටං පොත නොකියවපු කෙනෙක් නම් හොයාගන්නත් අමාරුයි. නමුත් හැමෝ​ම කියන තරමටම නම් මේ පො​තේ රසයක් නැහැ කියලා තමයි තවත් සමහර පාඨකයෝ කිවු​වෙ. පොතේ එන යම්කිසි චරිතයක මරණයත්, හැඟීම්බරබව උපරිමයෙන් තිබුණු අවසානයත් මේ අකමැත්තට හේතු වෙන්න ඇති සමහර විට…

3. අප්පච්චි ඇවිත්

මේක ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුණු නිසාම ජනප්‍රිය වුණු පොතක් කිව්වට වැරදි නැහැ. මේක ඇත්තටම ඔබ කියවිය යුතුම පොතක්. පොතේ කතාව ගලා යන්නේ මානසික රෝගියෙක්ගේ කෝණයෙන්. ඒ නිසාම ගොඩක් අයට කතාව මොකද්ද කියලා තේරුම්ගන්න බැරිව අසරණ වුණා. ඒ නිසාමද මන්දා පොතට ගොඩක් ආවේ සෘණාත්මක ප්‍රතිචාර. එසේ වුණත් සමහර පාඨකයෝ මේ පොත ගොඩක් ආදරයෙන් වැළඳ ගත්තා.

4. 12.12.12

මෑත කාලයේ ජනප්‍රිය වුණු කෘති අතර සුපිරිම පොතක් කියලා කියන්න පුළුවන් පොතක් මේ. පසුගි​ය කාලයේ Best seller ලේබල් එක දිනාපු සුපිරිම පොතක්. මේ පො​ත ගොඩක් අයට සෙට් වුණාට මේ පොතට අකමැති පිරිසකුත් ඉන්නවා. පොතේ තියෙන යම් යම් අඩුපාඩු ඔවුන්ට ලොකුවට දැනෙන එක ඒකට හේතුවක් වෙන්න ඇති වගේම සමහර විට කියන තරම් විශිෂ්ටත්වයක් මේ පොතෙන් ඔවුන් නොදැක්කා වෙන්න පුළුවන්. කොහොම වුණත් පරිවර්තන කෘතීන්ම වැඩිපුර පාඨකයන් වෙලා ගන්න කාලෙක 1212.12 කියන්නෙ ඒ රැල්ලට යන්න නොදී පාඨකයන්ව දිනාගන්න අලුත්ම රැල්ලක් නිර්මාණය කළ ස්වතන්ත්‍ර පොතක්.

5. මාගම් සෝළිය

ගොඩක් අය කියන්නෙ නම් මාගම් සෝළිය කියන්නේ තනිකරම මාකටින් නිසා හිට්වුණ පොතක් කියලා. අගක් මුලක් නැති කුණුහරුපයක් කියලා මේක හඳුන්වනවා තවත් සමහරු. ඒ අස්සේ තවත් සමහර අය ඉන්නවා මාගම් සෝළියෙන් පස්සේ මොහාන් රාජ්ගේ පොත් ඔක්කොම ගන්න පුරුදු වුණු. මේ පොතෙත් රසවින්දනය සාපේක්ෂ වුණා එකිනෙකාට. ඒ කොහොම වුණත් මේ පොත කියවපු කෙනෙක්ගේ මතකයෙන් ලේසියෙන් නොගිලිහෙන පොතක් බවට නම් සැකයක් නැහැ.

6. Faculty of sex

මේක නම් පොතක් නෙමෙයි, පොත් තුනක්. පොත් තුනම ලංකාවෙ තරමක් ආන්දෝලනයක් ඇති කළා. විශේෂයෙන් නම හින්දම මිනිස්සු හොය හොය ගත්ත පොත් එකතුවක් බවට මේ පොත් පත් වුණා. කොහොමට ජනප්‍රිය වුණාද කියනවනම් පොත් කියවන්න අකමැති අයත් මේ පොත හොය හොය කියෙව්වා කිව්වත් වැරදි නැහැ. කියවපු ගොඩක් අය පෝර්න් වීඩියෝ එකක් බැලුවා වගේ හැඟීමක් ආවා කිව්වට තවත් සමහර අය පොත විඳලා පොතට බැනපු අවස්ථාත් ඕන තරම් ඇති. කොහොම නමුත් ලිංගිකත්ව​ය, ප්‍රේමය සහ පුද්ගල සම්බන්ධතා බොහොම අමුවෙන් සහ යම් ගැඹුරක් සහිතව ඉදිරිපත් කරල තියන නිසාවෙන් මේ පොත්වල රසිකයින් වෙච්ච ලොකු පිරිසකුත් ඉන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *