ලෝකයේ පවතින විවිධ සිනමා කලාවන් අතර මලයාලම් සිනමාව කියන්නෙ අද වනවිට ඉතාම ජනප්‍රිය සිනමා කලාවක්. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී උපත ලබන මෙම සිනමා කලාවේ විශේෂත්වය වන්නේ අප ජීවත් වන සමාජය තුළ සිදුවන හෝ සිදුවිය හැකි සත්‍ය සිදුවීම් චිත්‍රපටයකට නැංවීමයි. අද අපි ඔබ මලයාලම් චිත්‍රපටවලට ඇබ්බැහි විය හැකි නැරඹිය යුතුම ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් ලබාගත් මලයාලම් චිත්‍රපටි පහක් මෙහි දී දක්වා තිබේ.

1. ප්‍රේමම් (Premam) 8.3/ 10 IMDb

2015 වසරේ දී එළිදක්වන ලද මෙම චිත්‍රපටය මලයාලම් සිනමාවට ලැදි වන ඕනෑම අයෙකු නරඹන පළමු චිත්‍රපටි ගොඩට එකතු වෙනවා.ඇල්ෆොන්ස් පුත්‍රන් විසින් පිටපත රචනා කර අධ්‍යක්ෂණය ද කළ මෙම චිත්‍රපටය ප්‍රේම වෘත්තාන්තයක් තේමා කරගනී.අවසානය තෙක්ම කුතුහලය දනවන චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන නලුවා ලෙස රංගන දායකත්වය නිවින් පවුලි (ජෝර්ජ්) විසින්ද අනෙකුත් චරිත ලෙස සායි පල්ලවී (මලර්) අනුපමා පරමේශ්වරන් (මේරි) මැඩෝනා සෙබෙස්තියන් (සෙලින් ) හඳුන්වා දිය හැකියි. චිත්‍රපටය අවසානයේ ජෝර්ජ්ගේ හිමිකාරිය වන්නේ කවුද බලන්න අනිවාර්යෙන්ම චිත්‍රපටය පැය 2 විනාඩි 35ක් බලන්නම වෙනවා.

2. කුම්බලාන්ගි නයිට්ස් (Kumbalangi nights) 8.5/10 IMDb

2019 වසරේ දී මලයාලම් සිනමාව විසින් ප්‍රේක්ෂකයින්ට ලබා දුන් ඉතාම නිර්මාණශීලි සිනමා නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දිය හැක. ශ්‍යාම් පුෂ්කරන් විසින් පිටපත රචනා කර මධූ සී නාරායන් විසින් අධ්‍යක්ෂණය කළ කේරළ ප්‍රාන්තයේ සොබාව සෞන්දර්යය ආකර්ශනීය ලෙස කැමරාවට හසුකරගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය තුළින් මව පියා නොමැතිව ජීවත් වන සහෝදරයින් තිදෙනෙකුගේ බැඳීම පිළිබඳව පෙන්වා දෙයි.
ඉතාම ස්වාභාවික සහ එකිනෙකාට ආවේණික ශෛලින් හිමි රංගන ශිල්පීන් වන ෆහාඩ් ෆසිල් (ශම්මි) ශාන් නිගම් (බොබී) සෞබින් ශාහිර් (සජී) ඇනා බෙන් (බේබි) මෙහි දී ප්‍රධාන චරිතවලට පණ දෙනු ලබයි. චිත්‍රපටය බලන පැය 2 විනාඩි 13 කේරළයේ ජීවත් වුණා වගේ හැඟීමක් දැනෙන්න පුලුවන්.

3. ලුසිෆර් (Lucifer) 7.5/10 IMDb

ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි කතා තේමාව වන්නේ රුධිරය, සහෝදරත්වය සහ පාවා දීම යන්නයි. 2019 වසරේ දී මුරලි ගෝපි විසින් රචනා කර ප්‍රිත්විරාජ් සුකුමාරන් විසින් අධ්‍යක්ෂණය කර තිබේ.ඔහුද මේ සඳහා රංගන දායකත්වය සපයන අතර ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ මලයාලම් සිනමාවේ අතිවිශිෂ්ට රංගන ශිල්පියෙකු වන මෝහන්ලාල් වේ. මෙම චිත්‍රපටය මලයාලම් සිනමාව සහ අනෙකුත් සිනමා වාර්තාවන් බිඳ දමමින් ඉතාම ඉහළ ආදායමක් ලැබූ චිත්‍රපටයක් වේ. පැය 2 විනාඩි 52 කුතුහලය රඳවමින් බලන්න පුලුවන් චිත්‍රපටයක් නම් ලුසිෆර් තමයි.

4. ට්‍රාන්ස් (Trance) 7.3/10 IMDb

මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය තුළින් මිත්‍යාදෘෂ්ටික ආගම් ඇදහිලිවලට ඉතා හොඳ පහරක් එල්ල කරනු ලබයි.2020 වසරේ දී එළිදක්වන ලද මෙම චිත්‍රපටය වින්සන් වඩක්කන් විසින් රචනා කර අන්වර් රෂීඩ් විසින් අධ්‍යක්ෂණය කර තිබේ. ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නෙ අතිදක්ෂ ෆහාඩ් ෆසිල් (විජූ ප්‍රසාද්) වේ. නස්‍රියා නසීම් (එස්තර් ලෝපෙස්), සෞබින් ශාහිර් (මැතිව්ස් තෝමස්), විනයාකන් (තෝමස්), ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේ යෙදෙයි.චිත්‍රපටය පැය 2 විනාඩි 48කින් ඉවර වුණාට පස්සෙත් දවස් ගාණක් කල්පනා කරන්න පුලුවන්.

5. හෝම් (Home) 9.1/10 IMDb

2021 වසරේ දී එළිදැක්වූ මලයාලම් සිනමාවේ දියුණුව සහ තාත්වික බව තවදුරටත් පෙන්වා දුන් චිත්‍රපටයක් ලෙස Home හඳුන්වා දෙන්න පුලුවන්. රොජින් තෝමස් මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම තිර රචකයා ද වේ.ලෝකයේ ඕනෑම තැනක ජීවත්වන පවුලක සිදුවිය හැකි ඉතාම සරල කතා තේමාවක් යොදාගනිමින් නොසිතන අන්දමේ කනෙ පහරවල් කිහිපයක් එල්ල කරන සංවේදී චිත්‍රපටයකට හොඳම උදාහරණය Home චිත්‍රපටය බවට නරඹන ඕනෑම අයෙක් සාක්ෂි දරනවාට නොඅනුමානයි. ඔලිවර් ටුවිස්ට් ලෙස රංගන දායකත්වය දෙන ඉන්ද්‍රන්ස් ඉතා විශිෂ්ට රංගන කුසලතාවයක් මෙහි දී පෙන්වයි. ස්‍රීනාත් භාසි (ඇන්තනී ඔලිවර්) නස්ලීන් කේ ගාෆූර් (චාර්ලි ඔලිවර්) මංජු පිල්ලෙයි ( කුට්‍ටිඅම්මා) ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයේ උපප්‍රධාන රංගන දායකත්වය ලබා දෙයි. චිත්‍රපටය අවසානයේ දී පැය 2 විනාඩි 41 ඉක්මනින් ඉවර වුණා කියලා හිතෙන්න පුලුවන්.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *