ලෝකයේ පවතින දැවැන්ත සිනමා කලාවන් අතර ශ්‍රී ලාංකීය සිනමා කලාව තවමත් අත්දැකීම් සමඟින් පෝෂණය වන සිනමා කලාවකි. නමුත් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවල දී ශ්‍රී ලංකාවේ චිත්‍රපට ද ඇගයීමට ලක් වූ අවස්ථා තිබේ. එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳව තොරතුරු මෙහි දැක් වේ.

1. නිධානය (1972)

තිස්ස අබේසේකර විසින් තිර රචනය කර ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ
මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමාවේ හොඳම චිත්‍රපටය ලෙස සැළකේ. මෙහි ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන ලද්දේ ලාංකීය සිනමාවේ සංකේත බඳු වූ මාලිනි ෆොන්සේකා සහ ගාමිණී ෆොන්සේකා වේ. අයිරින් සහ විලී අබේනායක ලෙස චිත්‍රපටය තුළ ඉතා විශිෂ්ට රංගන කුසලතාවක් දක්වයි.

එසේම ලාංකීය සිනමා කලාව ඉදිරියට ගෙන ඒමට පුරෝගාමී වූ තවත් බොහෝ රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයේ දී දැකගත හැක.

වැනීසියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (1972)

ලන්ඩන් සිනමා උළෙල (1972)

නිධානය චිත්‍රපටය අධ්‍යක්ෂණය, නළුවා,නිළිය,කැමරාකරණය, සඳහා සම්මාන ලබා ගැනීමට හැකි විය.

2. පුරහඳ කළුවර (1997)

යුද්ධයේ දී අහිමි වූ තම පුතුණුවන් එනතෙක් බලා සිටින වයෝවෘද්ධ අන්ධ පියෙකු පිළිබඳව සංවේදී කතා තේමාවක් පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ විසින් සිදු කරන ලදී. මෙම චිත්‍රපටය ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙස ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වූ අතර හොඳම නළුවාගේ සම්මානය ජෝ අබේවික්‍රම මහතාට ජාත්‍යන්තර සිනමා උළෙලවල දී ලබා ගැනීමට හැකි විය.

ඇමියන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (1999)

ෆ්‍රිබෝග් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (1999)

සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (1999)

3. සරෝජා (2000)

ජනවාර්ගික යුද්ධයේ අඳුරු පැතිකඩ පිළිබඳව කුඩා දරුවන්ද යොදා ගනිමින් ඉතාම සංවේදී චිත්‍රපටයක් වන සරෝජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ කුඩා දරුවන් වෙනුවෙන් සෑම විටෙකම චිත්‍රපට ඔස්සේ පෙනී සිටින සෝමරත්න දිසානායක මහතා විසින් වේ. නිත්‍යවානි කන්දසාමි සහ ප්‍රමෝදි කරුණාරත්න මෙහි ළමා ප්‍රධාන රංගන ශිල්පිනියන් ලෙස දක්ෂ රංගනයක් ඉදිරිපත් කරනු ලබයි.

සරෝජා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර විය.

චිකාගෝ ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල (2000)

ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (2000)

4. සුළඟ එනු පිණිස (2005)

මෙය වැඩිහිටියන් නැරඹීම වඩාත් සුදුසු පාඨය යටතේ නිර්මාණය වූ චිත්‍රපටයකි. විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය දේශපාලනික සහ සමාජීය ගැටලු පිළිබඳව තේමාව කරගෙන තිබේ. මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ සහ කෞෂල්‍යා ප්‍රනාන්දු යන රංගන ශිල්පීන්ගෙ රංගන කුසලතාවය මෙහි දී දැකගත හැක. මෙය සිංහල සිනමාවේ වඩාත් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූ බව කිව හැක. එසේම මෙම චිත්‍රපටය ඉතාම බුද්ධිමත්ව සහ අවධානයෙන් යුතුව නැරඹිය යුතුය.

කාන් සිනමා උළෙල (2005)

ආසියානු සහ අරාබි සිනමාවේ සිනෙෆාන් උත්සවය (2005)

රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙල (2004)

5. සැමීගේ කතාව (2011)

දුගී පවුලක නොසළකා හරින ලද වයසින් වැඩිමහල් වුවත් ශාරීරිකද දුර්වල වූ පිරිමි දරුවෙක් ගෘහ සේවයට යොදා ගැනීම සහ ඒ ආශ්‍රිතව සිදු වූ සිදුවීම් පිළිබඳව තේමාව කරගනිමින් ප්‍රියංකර විතානාච්චි විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වේ. රංගන ශිල්පී ජගත් චමිල මහතා මෙහි ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනු ලබයි. ජාත්‍යන්තර සිනමා උළෙලක දී ලෝකයේ හොඳම නළුවාට හිමි සම්මානය මෙමෙ චිත්‍රපටය වෙනුවෙන් ජගත් චමිල මහතාට ලබා ගැනීමට හැකි විය.

නිව් යෝර්ක් නගරයේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (2013)

සිව්වන සාර්ක් සිනමා උළෙල (2014)

මීට අමතරව තවත් බොහෝ චිත්‍රපට විවිධ ජාත්‍යන්තර සිනමා උළෙලවල දී සම්මානයෙන් ඇගයීමට ලක් වූ අවස්ථා තිබේ.ඉදිරියේ දී ද ජාත්‍යන්තරය ජයගත හැකි චිත්‍රපට ශ්‍රී ලාංකීය සිනමාවෙන් බිහිවෙනු ඇතැයි විශ්වාස කළ හැක.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *