ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන් ට සාමාන්‍ය ක්‍රීඩාවක් නොවෙයි. ඔවුන්ට එය ආගමක්. සෑම ලාංකිකයෙකුගේ ම ඇට මස් නහරවලට ම කා වැදුනු ක්‍රීඩාවක් කිවහොත් නිවැරදිය. පසුගිය කාල වකවානුව තුළ තරමක් පසුබෑමට ලක්ව තිබුණ ද වර්තමානය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ තිබීම සෑම ශ්‍රී ලාංකිකයකුගේ ම සතුටට කාරණයකි. ඒ පිළිබඳව අවසන් වූ දකුණු අප්‍රිකාවට එරෙහි අයි.සී.සී සුපර් ලීග් තරගාවලියේ ජය ශ්‍රී ලංකාව හිමිකර ගැනීමත් සමග තහවුරු වෙයි.
මෙම තරගාවලියේ තෙවන තරඟයේ දී සිදු වූ ඉතා සුවිශේෂී සිදුවීමක් වූයේ විසි එක් හැවිරිදි මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර ගැනීමයි. එලෙස ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වූයේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙසිය දෙවැනි එක්දින හිස්වැසුමේ හිමිකරු ලෙසයි. මහීෂ් තීක්ෂණට තම මංගල එක්දින තරගයේ දී තමන්ගේ දක්ෂතාවයන් ලොවට හෙළි කිරීමට හැකි හැකිවූයේ වාර්තා අතරට ද එක්වෙමින්. ඉතින් මේ සුදානම මංගල තරගයෙන්ම ඉතිහාසගත වාර්තා කිහිපයක්ම තැබූ මහීෂ් තීක්ෂණ ගැන ඔබට කියන්න.
ක්‍රිකට් ක්‍රීඩාවට අඩිතාලම

2000 වර්ෂයේ දී උපත ලැබූ මහීෂ් තීක්ෂණ බොරැල්ල, සුසමයවර්ධන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව දෙවන වසරේ දී සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුළත් වෙනවා.
වයස අවුරුදු 10 වන විට මහීෂ් මූලික ක්‍රිකට් අඩිතාලම සකසා ගන්නේ එන්.සී.සී. හි පිහිටා තිබෙන අශෝක ද සිල්වා ක්‍රිකට් ඇකඩමිය හරහායි. ඒ තිලක් ද සිල්වා සහ ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රම්‍යජිත් පුහුණුකරුවන්ගෙන් මූලික මඟ පෙන්වීම යටතේයි. පසුව දිල්රුක්ශාන් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ සිද්ධාර්ථ විද්‍යාලයේ 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම තුල කැපී පෙනෙන දස්කම් දක්වමින් තරග දිනවන්නෙක් බවට පත්වෙන්නට මහීෂ්ට හැකියාව ලැබුණි.
2013 වසරේ පැවති 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යැවීමෙන් කඩුලු ත්‍රිත්වයන් දෙකක් ද සමඟ කඩුලු 20ක් දවා ගනිමින් දස්කම් දැක්වන්නට මහීෂ්ට හැකිවන අතර අර්ධ ශතක දෙකක් සමඟ පිතිකරණයෙන් ලකුණු 150ක් ද ලබාගෙන ඉතාමත් සාර්ථකව එම තරග වාරය අවසන් කිරීමට මහීෂ් සමත් වෙනවා.
පසුව 2014 වසරේ දී පැවති 15න් පහළ තෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 250ක් සහ කඩුලු 24ක් දවා ගනිමින් තවත් සුපිරි තරග වාරයක් නිමා කරන මහීෂ්ගේ ක්‍රිකට් දිවියේ නැවුම් පරිච්ඡේදයක් ආරම්භ වන්නේ, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පැමිණීමට වරම් හිමිවීමත් සමඟයි.
පාසල් ක්‍රිකට් පිටියට නැතුවම බැරි ක්‍රීඩකයෙක්
2015 වසරේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු පළමු තරග වාරයේ දීම අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 600කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට සමත් වෙනවා. එම තරග වාරයේ දී ආරම්භක පිතිකරුවෙක්ගේ භූමිකාව ඉටු කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඔහු ක්‍රීඩා කළ අතර මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව ශතකයක් ද ලබා ගන්නට මහීෂ්ට හැකියාව ලැබුණි.
වයස අවුරුදු 15 දී ම කැපී පෙනෙන දස්කම් දක්වමින් සිය පාසල් කණ්ඩායමට නැතුවම බැරි සාමාජිකයෙක් වූ මහීෂ්, 2015/16 තරග වාරයේ 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී සාන්ත බෙනඩික්ට් කණ්ඩායම නියෝජනය කල අතර එහි දී තරග 4ක් ක්‍රීඩා කළ මහීෂ් 2016 පැවති 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යවන්නෙක් ලෙස කඩුලු 17ක් දවා ගන්නටත් පිතිකරුවෙක් ලෙසින් ලකුණු 120ක් රැස් කරගනිමින් තම දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් වුණා.

මහීෂ් 19න් පහළ පළමු කාණ්ඩයේ පාසල් තරග 43ක දී රැස් කල ලකුණු සංඛ්‍යාව 1,392ක් වන අතර පන්දු යැවීමෙන් කඩුලු 178ක් දවාගෙන තිබෙනවා. ඒ අතරින් 2017/18 තරග වාරය තුල ඔහු කඩුලු 74ක් දවා ගත්තේ ශතක දෙකක් සහ අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 650කට වඩා වැඩි ප්‍රමාණයක් රැස්කරමිනුයි. එම දස්කම් නිසාවෙන් එම වසරේ “Sunday Observer Mobitel පළමු පෙළ දක්ෂතම පාසල් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා” සඳහා වන සම්මානය දිනා ගැනීමට ද මහීෂ්ට හැකිවනවා.
ක්‍රීඩා සමාජවලත් දක්ෂතා අතරට
2017 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී බස්නාහිර පළාත් උතුර කණ්ඩායම නියෝජනය කළ මහීෂ් පසුව ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට ද තේරී පත්වීමට තරම් වාසනාවන්ත විය.

2017 වසරේ පැවති 23න් පහළ නැගී එන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කිරීමට අවස්ථාව හිමි වුන, එවකට 17 හැවිරිදි වියේ පසු වූ මහීෂ් එම තරගාවලියේ දී කඩුලු 5 අවස්ථා 4ක් සමඟ කඩුලු 53ක් දවා ගන්නට වනවා. ඉන් නොනැවතුණු ඔහු, ශ්‍රී ලංකා පළමු පෙළ සීමිත පන්දුවාර සහ විස්සයි විස්ස අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි ද නියෝජනය කිරීමට වරම් දිනා ගත්තා.
2018, 2019 සහ 2020 යන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගවාර තුනම ක්‍රීඩා කරන මහීෂ් ප්‍රබල එස්.එස්.සී කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයක දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් සිය හොඳම පළමු පෙළ විස්සයි විස්ස දස්කම දක්වා ඇත.
පසුව 2019 වසරේ දී අයර්ලන්ත ඒ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ඔහු, 2020 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ ගජබා රෙජිමේන්තුවට ඇතුළත් වන්නේ සිය ඉදිරි ක්‍රිකට් ගමන තව තවත් සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුව පෙරදැරිවයි.
මෙම කාලිවකවානුවේදී පැවති එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංචිත කිරීම් සඳහා ද තේරී පත්වුණු මහීෂ් ජැෆ්නා ස්ටැලියන්ස් විසින් මිල දී ගත් අතර ඔහු එහි දී කළම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් ක්‍රීඩා කරන ලදී. එම තරගයේ දී ලොව ප්‍රබල ක්‍රීඩකයින් සමඟ කරට කර සටන් කිරීමට මහීෂ්ට හැකිවිය.
පසුව 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී නොදර්න් වොරියරස් කණ්ඩායම නියෝජනය කරමින් තරග තුනක දී කඩුලු 4ක් දවා ගැනීමටද මහීෂ් සමත් වෙනවා.
ජයග්‍රහණයට පන්නරයක් වුණ පරාජයන්
කුඩා කාලයේ වේග පන්දු යවන්නෙක් වූ ඔහු වයස අවුරුදු 13 දී සිදු වූ අබාධයක් හේතුවෙන් දඟ පන්දු යවන්නෙක් බවට පත්වෙනවා. එදා ඔහුගේ අවසානව අද වාසනාව බවට පත්වී ඇති අතර මහීෂ් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසාන සංචිතයෙන් හැලුණු ක්‍රීඩකයෙක්.
හැබැයි අද වෙද්දි ඔහු ක්‍රිකට් වලින් යන්න පුළුවන් උපරිම තැනට ගිහින් ශ්‍රි ලංකා ජර්සිය ඇදගෙන ශ්‍රි ලංකා ජාතික කන්ඩායමට ක්‍රීඩා කරනවා.
මංගල තරගයෙන්ම ඉතිහාසගත වාර්තා රැසක්

තම එක්දින ජාත්‍යන්තර මංගල තරගයෙන්ම ඉතිහාසගත වාර්තා රැසක්ම තමන් සතු කරගන්න මහීෂ් සමත්වෙනවා. ඒ 21 වන සියවසේ උපත ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් ය.
එමෙන්ම ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් සිව්වැනි ක්‍රීඩකයා ලෙස ද මහීෂ් තීක්ෂණ ඉතිහාසගත වුණා. මීට පෙර චරිත බුද්ධික, කෞෂාල් ලොකුආරච්චි හා තිලාන් තුෂාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින පිටියේ යවනු ලැබූ පළමු පන්දුවෙන්ම කඩුලු දවා ගෙන තිබුණි.
ඒ වගේම පෙරේදා (7) පැවති තරගයේ දී මහීෂ් තීක්ෂණ වාර්තා පොත් අලුත් කලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් තරගයේ දී දග පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින්ය. ඒ ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින්ය. මීට පෙර ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුනේ වනිදු හසරංගයි.
එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ පස් වැනි හොදම පන්දු යැවීමේ දක්ෂතාව වන්නේ ද මහීෂ් පෙන්නුම් කළ දක්ෂතාවය දක්ෂතාවයයි.
මෙලෙස දක්ෂතා අතරට පිවිසි මහීෂ් තීක්ෂණ වැනි සම්පත් ආරක්ෂා කරගනිමින්, ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව තුල තවත් ඉහලට රැගෙන ආ යුතුමය.