ලෝකයේ සුන්දරම තැන්වලින් ශ්‍රී ලංකාවේ භූ විෂමතාව ගොඩාක් සුන්දර විදිහට පිහිටා තිබෙනවා. මේ නිසාම දෙස් විදෙස් සංචාරකයෝ ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන හොයාගෙන ගිහින් ඒ ස්වාභාවික සුන්දරත්වය විඳින්න ගොඩාක් කැමතියි.ඒ වගේම සමහර අය ඒ සංචාරයන් තමන්ගේ විනෝදාංශය විදිහට යොදාගන්නවා.

විවිධාකාර විදිහට මේ සංචාරයන් සිදු කරන්න කැමති අය අතරේ ලස්සන කඳු මුදුනකට ගිහින් කෑම්පින් හදාගෙන රැයක් ගෙවලා අලුත් අත්දැකීම් එකතු කරගන්න කැමති අයත් ඉන්නවා. මේ එහෙම අයට යන්න යන්න හොඳම තැන් ටිකක්.

1. වංගෙඩිගල

කඳු නැඟීමට සහ කෑම්පින් කරන්න කැමති අය යන්න ඕනම තැනක් තමයි වංගෙඩිගල. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහිය කළුපහන පිහිටා තිබෙන මෙම කඳුපන්තිය කොළඹ බදුල්ල මාර්ගයේ තිබෙන කළුපහන ගම්මානය තුළ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම කඳු අතර 13 වන ස්ථානය ලබාගෙන සිටින ගොම්මොලිය කඳු පන්තියේ වංගෙඩිගල සහ වංගෙඩි කන්ද පිහිටා තිබෙනවා. වංගෙඩියක හැඩය ගන්නා නිසා වංගෙඩිගල ලෙස හඳුන්වනු ලබනවා.

වංගෙඩිගලට යන මේ ගමන් මාර්ගය නම් එතරම් ලේසිපහසු නෑ. කන්ද මුදුනට යන්න නම් මේ දුෂ්කර ගමන්මඟ පසු කරන්නම වෙනවා. ඒත් කන්ද මුදුනට ගියාම මඟ දි දැනෙන වෙහෙස මහන්සිය හැමදේම නැති වෙනවාට කිසිම සැකයක් නෑ. කන්ද මුදුනේ දී ලස්සන හිරු උදාවක් වගේම ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දිය ඇල්ලත් ලස්සනට දැකගන්න පුලුවන්. ඒ වගේම නිවැරදි ගමන් මාර්ගයක් හෝ අඩි පාරක්වත් නොමැති තැන් කන්ද තරණය කරනකොට හමුවෙන නිසාම අතරමං වෙන්න පුලුවන් හැකියාව තිබෙනවා. ඒ නිසාම හොඳ මාර්ගෝපදේශනයක් ගන්න නම් කළුපහන ගම් වැසියෙක්වත් මේ ගමනට සහභාගී කරගන්න පුලුවන්.

2. හාවගල

සබරගමු පළාතේ බෙලිහුල් ඔය නගරයට ආසන්නයේ පිහිටි හාවගල කන්ද තරණය කිරීම මදක් දුෂ්කර ගමනක් වේ. හාවගල කන්දට යන ප්‍රවේශය තිබෙන්නෙ බෙලිහුල් ඔය පඹහින්න ප්‍රදේශයේ සිට 3km පහතින් පහන්තුඩාව ඇල්ල වෙතට යන මාර්ගයේ වේ. ඉතිං හාවගල යන අතරතුර පහන්තුඩාව ඇල්ලත් නරඹන්න හැකියාව තිබෙනවා.

කන්ද මුදුනට ගියාම බලතුඩුව, ගොංමොල්ලි පරෙවියන්ගල කඳු ටිකත් සබරගමුව පෝෂණය කරන සමනල වැවත් දැකගන්න පුලුවන්. ඒ වගේ උදේම ඉර උදාවත් ලස්සනම පේනවා. හාවගල කන්ද තරණය කරන අයගෙ ගයිඩ් විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ හිතමිතුරු බල්ලෙක්.හැමෝම චූටියා කියලා කතා කරන මේ ගයිඩ්වත් හාවගල ගමනට එකතු කරගන්න පුලුවන්.

3. නාරංගල

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන උසින් දෙවන ස්ථාන ගන්නා නාරංගල කන්ද කඳු නැගීමට සහ කෑම්පින් අත්දැකීම ලබා ගන්න කැමති සංචාරකයකයන්ගේ ප්‍රධාන නැවතුමක් වෙනවා. කන්දෙගෙදර සහ කීනකැලේ තේ වතු යායන් සහිත ගම්මාන දෙකට මැදිව තිබෙන මේ කන්දට කීනකැලේ මාර්ගය දිගේ ගියොත් කාලය ඉතිරි කරගන්න පුලුවන්. ඒ වගේම මේ කන්ද ඉතාම පහසුවෙන් තරණය කරන්නත් පුලුවන්.

කන්ද මුදුනේ තිබෙන පුළුල් තැනිතලා ඉඩ වගේම අවට සුන්දර පරිසරය ඉතාම හොඳින් දැකබලා ගන්නත් හැකියාව තිබෙනවා. කන්ද මුදුනේ දී උදෑසනට ලස්සන ඉර උදාව බලන ගමන් නමුනුකුල කන්ද, නකල්ස් කඳු වැටිය, පිදුරුතලාගල, අලුගල්ල යන කඳුත් දැකගන්න පුලුවන්.

4. කබරගල

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයට ආසන්නයේ පිහිටා තිබෙන මෙම කන්ද දොළොස්බාගෙ කඳු පන්තියේ පිහිටි උසම ස්ථානය වේ. නාවලපිටියට යන කෙනෙක්ට මේ කන්ද ලස්සනට දැකගන්න පුලුවන්. කබරයෙකුගේ හැඩය ගන්නා නිසා මේ කන්දට කබරගල ලෙස නම් තබා තිබෙනවා. කන්ද මුදුනෙ තියෙන්නෙ තැනිතලාවක් නිසා කෑම්පින් කරන්න කූඩාරම් හදාගන්න හරිම පහසුයි.

අනෙක් කඳු තරණයන්ට වඩා කබරගල කන්ද තරණය කිරීම පහසුයි. මීදුම නැත්නම් කන්ද මුදුනේ දී අම්බුළුවාව, කොත්මලේ ජලාශය, කොත්මලේ මහවැලි මහාසෑය, ගැරඩි ඇල්ල, සප්ත කන්‍යා කඳු වැටිය, වගේම තවත් පැත්තකින් ශ්‍රීපාදස්ථානයත් ලස්සනට බලාගන්න පුලුවන්. කන්දට පහළින් තේ යායක් සහ ෆයිනස් කැලයක් දැකගන්නත් පුලුවන්.

5. යහන්ගල

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම කන්ද නකල්ස් කඳු වැටියටම අයත් තවත් එක් කන්දක් වේ. යහන්ගල කන්දට රාවණා පුරාවෘත අතීත කතාවක්ද සම්බන්ධ වන නිසා ඓතිහාසික වටිනාකමක්ද ඇති කන්දක් ද වෙනවා. මේ කන්දේ ගලේ බණ්ඩාර දෙවියන් වැඩ සිටින බවට ජනප්‍රවාදයේ පවතිනවා. නිදන ඇඳක පෙනුමක් ගන්නා නිසාම මේ කන්ද යහන්ගල ලෙස නම් වී තිබෙනවා. කඳු මුදුනේ කිසිම ගසක් දැකගත නොහැකි තැනිතලා භූමියක් තිබෙනවා.

ඒ වගේම මේ කන්ද මුදුනේ හෝ වෙලන්ගොල්ල පතනයේ දී කඳවුරු සාදා ගැනීමට පුලුවන්. යහන්ගලට යන මාර්ගය තරමක් දුෂ්කර ගමන් සහිතයි. කන්ද මුදුනේ දී මීමුරේ ගමේ ලකේගල, ගැරඩිගල, දුම්බානා ගල වගේම හොඳ පැහැදිලි දවසක නම් මහවැලි ගඟ සහ සොරබොර වැවත් දැකබලා ගන්න පුලුවන්.

ශ්‍රී ලංකාවේ කෑම්පින් සහ සඳහා තවත් ලස්සන කඳු මුදුන් රාශියක් තිබෙනවා. මේ අත්දැකීම් ගන්න කලින් අනිවාර්යෙන්ම ඔබ සංචාරයට යන ඒ ප්‍රදේශවල කාළගුණික තත්ත්වයන් සහ කන්ද නැඟීමටත් කඳවුරු සාදා ගැනීමටත් හොඳ කාල වකවානු වගේම අනිත් තොරතුරු පිළිබඳව අවබෝධයෙන් යන්න. ඒ වගේම ඒ යන ස්ථානවල ස්වාභාවික පරිසරය විනාශ නොකර හොඳින් විනෝද වෙලා ආයෙමත් එනකොට අරන් ගිය හැමදේමත් එකතු කරගෙන එන්න අමතක කරන්න එපා.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *