ශ්‍රී ලංකාවට ළඟින්ම ඉන්න අසල්වාසී රට මොකක්ද ඇහුවොත් ඕනම කෙනෙක් දන්නවා ඉන්දියාව කියලා. ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාව වගේ පොඩි දූපතක් නම් නෙමෙයි. ඒකත් අපි හොඳින්ම දන්න කරුණක්. ලෝකයේ විශාලතම රටවල්වලින් ඉන්දියාව දෙවෙනි වන්නේ චීනයට පමණයි. ප්‍රාන්ත විසි නවයකින් යුත් ඉන්දියාවේ ජනගහනය බිලියන 1.18ක් පමණ වෙනවා.

ඉතින් අද දන්න නොදන්න විස්තර ටිකක් එක්ක ඔබව ඉන්දියාවට එක්ක යන්නයි මේ සූදානම් වෙන්නේ.

ප්‍රධානම තොරතුරු

ඉන්දියාව දකුණු ආසියාතික රටකි. උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව ලෙස කොටස් දෙකකට ඉන්දියාව බෙදා තිබේ. ඉන්දියාවේ අගනගරය වන්නේ නවදිල්ලිය වන අතර විශාලතම නගරය මොම්බායි නගරයයි. ඉන්දියාවේ නිල භාෂාවන් වන්නේ හින්දි භාෂාව සහ ඉංග්‍රීසි භාෂාවයි. ඉන්දියාවේ භාවිත මුදල් වන්නේ ඉන්දියානු රුපියල් වේ.

ඉන්දියාවේ ප්‍රාන්ත

ඉන්දියාව කියන්නේ ලෝකයේ දෙවන විශාලතම රට විදිහට හඳුන්වන රටයි. ප්‍රාන්ත විසි නවයක් තියෙන ඉන්දියාවේ මේ හැම ප්‍රාන්තයක්ම එකිනෙකට වෙනස් සංස්කෘතීන් සමාජයන් ආගම් නියෝජනය කරනවා. මේ ප්‍රාන්ත එකිනෙකට බොහෝ වෙනස් වෙනවා.

ඇතැම් ප්‍රාන්ත ඉතාම අපිරිසිඳු සනීපාරක්ෂාව ගැන මූලික දැනුමක්වත් නොමැති අධික ලෙස මිත්‍යා විශ්වාසයන්ට ඇබ්බැහි වූ ප්‍රාන්ත වන අතර තවත් සමහර ප්‍රාන්ත ඉන්දියාව එතරම්ම ලස්සනද කියලාවත් හිතාගන්න බැරිවෙන ප්‍රාන්ත වෙනවා.

  1. ආන්ද්‍රා ප්‍රදේශ්

2. අරුණාචල් ප්‍රදේශ්

3. ඇසෑම්

4. බිහාර්

5. ඡත්තීස්ගඪ්

6. ගෝව

7. ගුජරාතය

8. හර්යානා

9. හිමාචල් ප්‍රදේශ්

10. ජම්මු හා කාශ්මීරය

11. ඣාර්ඛණ්ඩ්

12. කර්ණාටක

13. කේරළය

14. මධ්‍ය ප්‍රදේශ්

15. මහාරාෂ්ට්‍ර

16. මණිපුර

17. මේඝාලය

18. මිසෝරාම්

19. නාගලන්තය

20. ඔරිස්සා

21. පන්ජාබය

22. රාජස්ථාන්

23. සිකිම්

24. තමිල්නාඩුව

25. ත්‍රිපුරා

26. උත්තර් ප්‍රදේශ්

27. උත්තරාඛණ්ඩ්

28. බටහිර බෙංගාල

29. තෙලගානා

ඉන්දියාවේ ඉතිහාසය

ඉන්දියාව කියන්නේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් තිබෙන රටක්. පෙරදිග රටවල්වලින් වැඩිම වටිනාකමක් උරුම කරගත් ඉන්දියාවේ සුවිශේෂිතා අසීමිතයි. ශ්‍රී ලංකාවට ඉන්දියාවත් සමඟ තියෙන්නෙ ඉතාම සමීප බැඳීමක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා ඇතුළු ශ්‍රී ලාංකිකයයින් ගරු කරන බුදු දහම පැවතෙන්නෙ ඉන්දියාව සමඟයි.

ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාට ඉන්දියාවේ දඹදිව වන්දනා කරගැනීමට ලැබීම තමන්ගේ ජීවිතයේ ලැබෙන විශාල වාසනාවක් ලෙසත් හඳුන්වනවා. ඉතිහාස කතා තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හා බැඳුණු කතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාවටම විශේෂිත වූ ආගමික, සංස්කෘතික, සමාජීය වෙනස්වීම් බොහෝමයක් තියෙනවා.

ඉන්දියාවේ භාවිත වන භාෂා සහ අදහන ආගම්

ලෝකයේ වැඩිම භාෂා ප්‍රමාණයක්, ජාතීන් සහ සංස්කෘතිකාංග තිබෙන රටක් විදිහට ඉන්දියාව හඳුන්වන්න පුළුවන්. ජාතික භාෂාවක් නොමැති වුවද ප්‍රධානම භාෂාව හින්දි භාෂාව වන අතර ඉංග්‍රීසි, බංගලි, දෙමළ, උර්දු, ගජරාටි, මරාටි, තෙළිඟු, මලයාලම් වැනි භාෂාවන් විශාල ප්‍රමාණයක් ඉන්දියාව තුළ භාවිත වෙනවා. ඒ වගේම ලොව පැරණිම භාෂා දෙක තිබෙන්නෙත් ඉන්දියාවෙයි. එනම් සංස්කෘත සහ දෙමළ භාෂාවන් වේ.

ඒ වගේම ආගමික වශයෙන් හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි වගේම තවත් ආගම් ඇදහිලි විශාල වශයෙන් තිබෙනවා.

ආගම් ඇදහිලිවලට අමතරව ලෝකයේ රටවල් අතරින් මිත්‍යා විශ්වාසයන් සහ විවිධාකාරී වූ ඇදහිලි විශාල වශයෙන් ඉන්දියාව තුළ තිබෙනවා. ඇතැම් විශ්වාසයන් තුළින් කාන්තා පාර්ශවයට සිදුවන අසාධාරණයන්ද අප්‍රමාණයි. නමුත් ඒවායින් මිදීමය කිසිවෙකුට උවමනාවක් හෝ හැකියාවක් නැහැ.

ඉන්දියාවේ ආහාරපාන

ලොව වැඩිම නිර්මාංශික ජනතාවක් ඉන්නා රට ඉන්දියාව විදිහට හඳුන්වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිකුත් කරන ලද Food and agriculture organization (FAO) වාර්තාවට අනුව ලොව සීමිත වශයෙන් මස් මාංශ ආහාරයට ගන්නා රට බවට ප්‍රකාශ කර තිබෙනවා. අධික ලෙස ආගම් ඇදහිලි විශ්වාස කරන පුද්ගලයන් මේ සඳහා හේතු වෙලා තිබෙනවා.

මීට අමතරව ඉන්දියානු ආහාරපාන ඉන්දියාවටම ආවේණිකයි. කුළුබඩු වැඩි වශයෙන් භාවිත කරමින් පිසින ආහාර පාන ඉතාම ප්‍රනීත රසයක් ගන්නවා. ශ්‍රී ලංකාව තුළත් ඉන්දියානු ආහාර ප්‍රචලිතයි. ශ්‍රී ලංකාවේ දී සයිවර් කඩ ලෙස හඳුන්වන කඩවල්වල මෙම ඉන්දියානු ආහාර නිෂ්පාදනය කරනවා.

විවාහ චාරිත්‍ර

ඉන්දියාවේ බොහෝමයක් ප්‍රාන්ත විවිධ වූ ආගම් ඇදහිලි විශ්වාසයන්වල ඇබ්බැහි වූවන් වෙනවා. මේ නිසාම ඇතැමෙකුට හාස්‍යජනක විය හැකි සිඳුවීම්ද ඉන්දියාව තුළ සිදු වෙනවා. විශේෂයෙන් විවාහ චාරිත්‍රවලදී විවිධ මිත්‍යා විශ්වාසයන් නිසා සතුන්ව විවාහ කරදීම සිදු වෙනවා. උදාහරණයක් විදිහට ඇතැම් කාන්තාවකට හෝ පිරිමි පුද්ගලයෙකුට ඔවුන්ගේ පළමු විවාහයේ දෝෂ හෝ අසාර්ථක වීම් පිළිබඳව මිත්‍යා විශ්වාසයන් තුළින් දැන්ගන්නට ලැබුණු විට ඔවුන් තම පළමු විවාහය ලෙස සතෙකුව තෝරා ගන්නවා.

විවාහ උත්සවයක් ගෙන එම සත්ත්වයාව විවාහ කරගන්නා අවස්ථා ඉන්දියාව තුළ සුලබ සිදුවීමක් වෙනවා.ඒ වගේම ඉතා කුඩා වයසේ ගැහැණු දරුවන් විවාහ කරදීමත් ඉන්දියාව තුළ සිදු වෙනවා.

සංගීතය සහ නර්තනය

ඉන්දියාවේ සංගීතය සහ නර්තනය වෙනමම කලාවක් සහ සංස්කෘතියක් වේ. ලෝකයේ විශිෂ්ටතම සංගීතය සහ නර්තනයන් බිහිව තිබෙන්නෙ ඉන්දියාව තුළදීයි. එකිනෙකට වෙනස් වූ සංගීත කලාවන් සහ නර්තන කලාවන් විශාල ප්‍රමාණයක් ඉන්දියාව තුළ උපත ලබා තිබෙනවා. එමෙන්ම ලෝක පූජිත සංගීතඥයන් ඉන්දියාවේ සිටිනවා.

ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය සහ කර්ණාටක සංගීතය ලෙස හින්දුස්තානි සංගීතය කොටස් දෙකකට බෙදෙනවා. කර්ණාටක සංගීතය භාවිත වන්නේ දකුණු ඉන්දියාව තුළ වේ. කතක්, කතකලි, භරතනාට්‍යම්, මනිපුරි, කුචිපුඩි, ඔඩිසි ඇතුළු සංස්කෘතික නර්තන කලාවන් විශාල ප්‍රමාණයක් ඉන්දියාවට උරුම වී තිබෙනවා.

ඇඳුම් පැළඳුම් සහ ආභරණ

කාන්තාවන්ට නම් ඉන්දියාව යනු ඔවුන්ට උන්මාදයක් වූ ඇඳුම් පැළඳුම් සහ ආභරණ පිරි රටක් වේ. විවිධ වර්ගයේ මෙන්ම නොයෙක් ආකාරයේ පැහැයන් ගත් ආකර්ශණීය සාරි, ඇඳුම් පැළඳුම් මෙන්ම ආභරණ ඉන්දියාවේ ඕනෑම ස්ථානයක දකින්න පුලුවන්. කුඩා මංමාවත්වල පවා ඇඳුම් පැළඳුම් සහ ආභරණ අලෙවි කරන ආකාරය ඉන්දියාව තුළ ඉතාම සුලබ දසුනක් වෙනවා.

ලාබෙට ලස්සන විලාසිතා සහිත ඇඳුම් පැළඳුම් සහ ආභරණ ගන්න නම් ඉන්දියාව තමයි.

ඉන්දියානු කර්මාන්තයන්

ඉන්දියාව තුළ විශාල කර්මාන්ත ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් සිනමා කර්මාන්තය ලොව ප්‍රකට ඉන්දියානු කර්මාන්තයක් වෙනවා. බොලිවුඩ් සිනමාව ලෝකයේ දියුණු සහ බලවත් කර්මාන්තයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ වගේම සළුපිළි සහ ආභරණ නිෂ්පාදනයෙන්ද ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා.

කුළුබඩු නිෂ්පාදනය, කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, ලෝහ, රසායනික කර්මාන්ත ඇතුළු කර්මාන්ත විශාල වශයෙන් ඉන්දියාව තුළ තිබෙනවා.

සංචාරක ස්ථාන

ඉන්දියාව කියන්නේ සංචාරක පුරවරයක්. බලලා ඉවරයක් කරන්නම බැරි විශාල සංචාර ස්ථාන බොහෝමයක් ඉන්දියාව තුළ පිහිටා තිබෙනවා. ඉන්දියාවට යනවා නම් දිල්ලිය, ජායීපූර්, අග්‍රා, බොම්බේ, කේරල වැනි ප්‍රදේශවල සංචාරය කළොත් සංචාරක ස්ථාන විශාල වශයෙන් දැකබලා ගන්න පුලුවන්.

ක්‍රීඩා වර්ග

ඉන්දියාවේ ක්‍රීඩා කියූ සැනින් ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවයි. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩිම රසිකයන් පිරිසක් සිටින්නේ ඉන්දියාව තුළයි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ගැනත් විස්තර කරන්න ඕන නෑනෙ. මොකද ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ඉතාම දක්ෂ කණ්ඩායමක් වගේම ලෝකයක්ම දන්නා සචින් තෙන්දුල්කාර්, විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි වගේ දක්ෂ ගරුබුහුමන්වලට පාත්‍රවන ක්‍රීඩකයින් සිටිනවා.

චෙස් ක්‍රීඩාවේ පළමුවරට ආරම්භ වන්නේ ඉන්දියාවේදීයි. ඒ වගේම කබඩි, පාපන්දු, හොකී වැනි ක්‍රීඩාත් ඉන්දියාව තුළ ඉතාම ජනප්‍රියයි.

වෙනත් තොරතුරු..

ලොව විශාලතම තැපැල් ජාලය
ලොව දිගම මුහුදු වෙරළයන් අතරින් 18 වන ස්ථානය.
ආසියාවේ විශාලතම බන්ධනාගාරය
ලොව දිගම දුම්රිය මාර්ගයන්

අපි මේ කිව්වේ ඉන්දියාව ගැන ප්‍රධානම දේවල්වලිනුත් බොහොම ටිකයි. ඉන්දියාව කියන්නේ ලෝකයේ තියෙන වෙනස්ම රටක්. කවදාහරි ගිහින්ම බලන්න පුලුවන්නම් ඒක ඇත්තක් කියලා ඔබටම හිතෙයි. ඉතිං කවදාහරි අපේ අල්ලපු රටට යන්න චාන්ස් එකක් ලැබුණොත් අනිවාර්යෙන්ම යන්න. එතකම් මේ විස්තර ටිකත් මතකේ තියාගන්න.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

වෙනත් ලිපි – ඉන්දියානු සම්ප්‍රදාය අතික්‍රමණය කල මල්ලවපොර ශූරියන්ගේ කතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *