අපේ රටේ ජනමාධ්‍යවේදීන් කියන්නේ අතිශයින්ම බලගතු පිරිසක්. ඔවුන්ට ජනමාධ්‍යකරණය හරහා ලැබෙන සිවිල් බලය අසීමිතයි. හොඳට වගේම ඇතැම් අවස්ථාවල ඔවුන් නරකටත් මේ සිවිල් බලය භාවිතා කරනවා. ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍යවේදීන් තමන්ගෙ වෘත්තිය හරහා ගොඩනැගුණු සිවිල් බලය පාවිච්චි කරලා දේශපාලන කටයුතුවල නිරත වෙනවා.

දේශපාලන කටයුතු කියලා අපි අදහස් කරන්නේ මාධ්‍යවේදය හරහා ක්‍රියාත්මක වන දේශපාලනය ගැන නෙමෙයි. බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳව. මේ විදිහට තමන්ට ලැබුණු සිවිල් බලය භාවිතා කරලා රට හදන තැනට ගිය ජනමාධ්‍යවේදීන් ගැන අපි අද කතා කරන්න හිතුවා. හැබැයි මේ අය තමන්ගේ පාර්ලිමේන්තු ගමන තුළදී කරපු දේ පිළිබඳව නම් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් බව නොකියාම බැහැ.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!

1. බුද්ධික පතිරණ

මහරාජා මාධ්‍ය ජාලයේ නිවේදකයෙකු විදිහට ප්‍රසිද්ධ දේශපාලනයට එක්වූ පළමුවැන්නා ලෙස බුද්ධික පතිරණව හඳුන්වන්න පුළුවන්. මාතර දිස්ත්‍රික්කය තුළ සිදු කළ සමාජ සේවා වැඩ කටයුතු නිසා ඔහු ජනප්‍රියත්වයක් දිනා ගෙන සිටියා.

ඉන්පසුව අවස්ථා ගණනාවකදීම එක්සත් ජාතික පක්ෂය විසින් පල නොකියා පළා බෙදද්දීත් ඔහු පක්ෂය අත්හැරියේ නැහැ. මේ නිසාම පක්ෂයේ ප්‍රබල බලකණු පරාජය වෙද්දී පවා ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකි වුණා.

2. මනූෂ නානායක්කාර

ස්වර්ණවාහිනිය තුළින් ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත්වුණු මනුෂ නානායක්කාර දේශපාලනඥයෙකු ලෙස සාර්ථක වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළේ නැහැ. කෙසේ නමුත් ඔහු ඇතැම් අවස්ථාවල පරාජය ලබමින් වුවද දේශපාලනය අත්හැරියේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඔහු වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමයි.

වතාවක් තම පක්ෂය මාරු කළත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂය වෙත පැමිණ ජයග්‍රහණය කිරීමට සමත් වීමත් එක් විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

3. ඩලස් අලහප්පෙරුම

විකල්ප ධාරාවේ පුවත්පත් කලාවේදියකු ලෙස රටේ නමක් දිනාගත්ත ඩලස් අලහප්පෙරුම වඩාත් කතාබහට ලක්වුණේ රණසිංහ ප්‍රේමදාස පාලනයේදී ඔහුට එරෙහිව සිය පෑන අවියක් ලෙස යොදා ගැනීම නිසයි. ඇතැම් පාර්ශව නම් කියන්නේ “සුනිල් මාධවගේ හම ගියා, ඩලස්ගේ නම ගියා” කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ.

කෙසේ නමුත් දේශපාලනඥයෙකු විදිහට ඔහු රටේම ජනාදරය දිනා ගත්ත දේශපාලනඥයෙකු බවට පත් වුණා. ඒ ඔහු සැමවිටම මහත්මා දේශපාලනය ප්‍රිය කළ පුද්ගලයෙකු වීම නිසයි.

4. විමල් වීරවංශ

ඩලස් අලහප්පෙරුමගේ සමකාලීන කණිෂ්ට සගයකු වන විමල් වීරවංශ එවකට පුවත්පත් ලෝකය තුළ ප්‍රකටව සිටියේ විමලසිරි ගම්ලත් කියන නමින්. ඔහු රණසිංහ ප්‍රේමදාස පාලන සමයේදී සක්‍රීයව ජනමාධ්‍යකරණයේ නිරත වුණා. ඉන් පසු ජනතා විමුක්ති පෙරමුණට නැතුවම බැරි සාමාජිකයෙකු බවට පත් වුණා.

ඉන් ඉවත් වූ ඔහු මහින්ද රාජපක්ෂ හිතවාදී දේශපාලනයක නිරත වෙන්නට පටන් ගත්තා. අද වන විට ඔහු ප්‍රකට වන්නේ ආන්දෝලනාත්මක දේශපාලනඥයෙකු විදිහටයි.

5. සංජීව එදිරිමාන්න

ස්වාධීන රුපවාහිනිය සහ ලක්හඬ ගුවන් විදුලිය තුලින් රටක් ආමන්ත්‍රණය කල සංජීව එදිරිමාන්න මෙවර පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඒ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනාප ඡන්ද 105073 ලබා ගනිමින්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකි.

වෙනත් ලිපි – ලෝක ඉතිහාසය වෙනස් කල දේශපාලන ගිවිසුම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *