මේ ලිපියෙන් අද අපි කතා කරන්නෙ රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සවයකදි ඔබේ සුන්දරත්වය වැඩි කරලා glamour look එකක් ඔබට ලබා දෙන evening dress fashion හෙවත් සැන්දෑ ගවුම් විලාසිතා ගැනයි.

ඒක තව දුරටත් විස්තර කරොත්, අපි ඔෆිස් වලට විශේෂයෙන් තෝරාගෙන අදින Office wears (ඔෆිස් ඇඳුම්), නැතිනම් සාමාන්‍ය ගමන් බිමන් වලට අදින casual wears වගේම රාත්‍රී උත්සව සඳහාම පමණක් අදින ආවේණික ඇඳුම් විලාසිතාවක් තමයි evening dress කියන්නේ. රාත්‍රී කාලයට පමණක් ඇඳීම තමයි මේවාට ආවේනික රීතිය.

විදේශ රටවල ඔපෙරා, ප්‍රොම්, රාත්‍රී භෝජන, කොක්ටේල් සාද, මංගල උත්සව වැනි අවස්ථාවන් සඳහා ඒවාටම ආවේණික වූ විවිධාකාර විලාසිතාවන් තිබෙනවා. නමුත් ලංකාවේ අපට එවැනි සාද සඳහා වෙන වෙනම ඇදුම් විලාසිතා නැති නිසා රාත්‍රි කාලයේ පැවැත්වෙන සාද, මංගල උත්සව වැනි ඕනෑම අවස්තාවක් සඳහා ඔබේ රුචිකත්වය පරිදි මේ සැඳෑ ගවුම් තෝරාගන්න පුලුවන්.

දැනට ලංකාවේ රංගන ශිල්පිනියන් ඇතුලු සුවිශේෂී වූ කාන්තාවන් සුළු පිරිසක් අතර පමණක් මේ ඇදුම් ජනප්‍රිය වීමක් දකින්න ලැබෙනවා. නමුත් පෞරුෂය හා සරාගී බව දෙකම ඉස්මතු වන ආකාරයේ උසස් පෙනුමක් ලබා ගන්න කැමති ඕනෑම කාන්තාවකට මෙවැනි ඇදුමක් ගැලපෙනවා.

දැන් බලමු ලොව පුරා ජනප්‍රිය evening dress fashion කීපයක් ගැන. මේ අතරින් ඔබ සහභාගී වෙන උත්සවය අනුව ඔබට ගැලපෙන ඇදුම් විලාසිතාවක් තෝරා ගන්න ඔබට පුලුවන්.

1. Golden prom type formal dress

තරු සංස්කෘතියේ ජනප්‍රිය සැඳෑ ගවුමක් තමයි මේ රන් පැහැ ගවුම. සම්පූර්ණ එම්බ්‍රොයිඩර් කරන ලද උඩුකය කොටස ඕෆ් ශෝල්ඩර් විලාසිතාවට නිමවා දිගු අතක් සහිතව මසා තිබෙනවා. පොළොව ස්පර්ශ කරන දිගු සාය ජෝර්ජට් රෙද්දෙන් තමයි මහලා තියෙන්නේ.

2. High low prom dress

ඔබේ ප්‍රියතම රතු වර්ණයෙන් high low ඩ්‍රස් එකක් තමයි මේ. ඔබට දඟකාර පෙනුමක් ගෙන දෙන මේ ගවුමේ ඉතා ගැඹුරු V හැඩති කරක් තියෙනවා. ඒ නිසාම ඔබ සතුව ඇති ප්‍රමාණයෙන් ඉතා විශාල මාල හෝ දිගු මාල පලඳින්න පුළුවන්. ඉණ අසල ඇති පුළුල් පටිය නිසා ඔබේ ඉඟටියේ හැඩය වඩාත් හැඩකාර ලෙස කැපී පෙනෙනවා. පාවහන් තෝරන අවස්ථාවේදී අවස්ථාවේදී කළු, රිදී , රන් පැහැ, හෝ රතු පැහැති පාවහන් වඩාත් උචිතයි.

3. Cocktail dress

ඉතා දීප්තිමත් නිමාවකින් යුක්ත මේ ඇඳුම ඔබ සාදයට ඇතුල් වන මොහොතේ සිට අන් අයගේ ඇස් ඔබ දෙසටම ඇද තබා ගන්න සමත් වෙනවා. ඉතා ගැඹුරු කරත්, වළලූකර දක්වා දිගු වූ අතත්, කෘතිම ගල්වලින් හැඩ වැඩ කළ මෝස්තරයත් නිසා ඇඟට ඇලුණු පෙනුමක් ඇති මෙම සැඳෑ ගවුම අඳින ඔබට අසාමාන්‍ය ආකර්ෂණීය බවක් ගෙන දෙනවා. හැඩැති සිරුරක් ඇති තරුණ ඔබට සැඳෑ සාදයකට කදිමට ගැළපෙන විලාසිතාවක්. මේ ආකාර කොක්ටේල් ඩ්‍රස් එකක් සමඟ Nude වර්ණ වලින් එන පාවහන්, සරල කොණ්ඩ විලාසිතාවක් ගැලපුවොත් ස්මාර්ට් ඔබට හොඳ පෙනුමක් ලැබෙයි.

4. Arial wine ombre dress

ලෝකයේ ජනප්‍රිය තරු අතර ප්‍රචලිත විලාසිතාවක් වන මේ සැඳෑ ගවුම දෙපා දක්වාම දිගු වෙනවා. උරහිස් පටි වලින් සමන්විත මේ ගවුමේ ඉණ අසලින් එක් පසෙකින් ගැට ගසන පටියත්, මැදින් ඉතා ඉහලට පවතින ස්ලිට් එකක් නිසා ඔබට සරාගී පෙනුමක් ගෙන දෙනවා. අඟල් කීපයක් උස පාවහන් යුගල පැළදීමෙන් ඔබට අංග සම්පූර්ණ පෙනුමක් ලබා ගන්න පුළුවන්. ප්‍රමාණයෙන් විශාල මාලයක් සමඟ කුඩා කරාඹු යුගලක් ගලපන්න ඔබට පුලුවන්. එසේත් නැතිනම් සුදු පැහැ ගල් ඇල්ලූ ප්‍රමාණයෙන් විශාල කරාඹු යුගලක් පමණල් ප්‍රමාණවත්.

5. Trumpet satin dress

satin රෙද්දෙන් නිර්මාණය කරපු නිල් පාට මේ ඇඳුම කොටස් දෙකකින් යුක්තයි. උඩු කය කොටසේ පිට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙන විදියටයි මේ වගේ නිර්මාණ කරන්නේ. දියකිඳුරිකගේ වරල සේ දිස්වන සාය කොටස උසින් මදක් වැඩියි. එම නිසා ඔබේ උස තවත් වැඩි කර පෙන්වන්න සමත් වෙනවා. ඇඳුමේ සරල බව නිසා ඔබ කරාඹු දෙකක් පමණක් පැලඳීම ප්‍රමාණවත්. ප්‍රමාණයෙන් විශාල කරාඹු ජෝඩුවක් මගින් ඔබට හොඳ පෙනුමක් එකතු කරයි.

6. Off shoulder dress

අලුත්ම වර්ගයේ විලාසිතා වලින් හැඩවෙන්න කැමැති ඔබට තමයි මේ වගේ විලාසිතා ගැලපෙන්නෙ. off Shoulder විලාසිතාවක් වන මේ ගවුමේ ඉහළ කොටස මගින් සැහැල්ලු අතක් නිර්මාණය වී ඇත. ගෙල පෙදෙස හොඳින් ඉස්මතු වී පෙනෙන නිසා ගෙලටත්, කනටත් විශාල ප්‍රමාණයේ ආභරණ පලඳින්න පුළුවන්. දණහිසටත් මදක් ඉහලින් අවසන් වන මෙම ගවුම් විලාසිතාවට බූට්ස් හෝ ග්ලැඩියේටර් බූට්ස් වර්ගවල පාවහන් ඉතා හොඳ පෙනුමක් ගෙන දෙනවා.

7. white prom formal dress

සාදයේ සිටින පිරිස් අතරින් කැපී පෙනෙන්නට කැමති ඔබට පහසුවෙන් තෝරගන්න පුළුවන් වර්ණයක් තමයි සුදු වර්ණය. සුදු පැහැයක් සමග සරාගී පෙනුමක් දෙන මේ වගේ විලාසිතාවන් ඔබේ විලාසිතා නිර්මාණ ශිල්පියාට කියලා ඔබටම ගැළපෙන සේ නිර්මාණය කර ගත්තොත් තවත් හැඩවේවි. ඉතා සරල විලාසිතාවක් වන මේ අත් රහිත ගවුම අඳින ඔබත් චාම් පෙනුමැති කුඩා ආභරණ පලඳින්න අමතක කරන්න එපා. මුතු වලින් කල ආභරණ කට්ටලයක් ඔබ සතුව තිබේ නම් ඒවා කරලියට ගන්න හොඳම අවස්තාවයි මේ.

8. Dark green short dress

සැඳෑ සාදයක් සඳහා අන්තිම මොහොතේ සූදානම් වන ඔබට ඉතා පහසුවෙන් වෙළඳපොලේ සොයා ගන්න පුළුවන් ආකාරයේ ගවුමක් තමයි මේ. කැප් ස්ලීව් සහිත තද කොළ පැහැති මේ ගවුම තරමක් ගැඹුරු කරකින් යුතුය. ඔබේ ආභරණ අතර තිබෙන චාම් නමුත් හොඳ පෙනුමක් තියෙන මාලයක් ඔබට පලඳින්න පුළුවන්. කලු, කොල පැහැයෙන් පාවහන් ගලපන්න පුලුවන්.

වෙනත් ලිපි – ඔසප් කාලයට භාවිතා කරන්න පුළුවන් සනීපාරක්ෂක ක්‍රම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *