ග්‍රීසිය යන නම ඇසුනු සැණින්ම අප මතකයට එන්නෙ දෙවියන්ගේ පහස ලත් සශ්‍රීක දේශයක අතීත කතාවයි. ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව මානව සංහතියේ රන් යුගය බවට පුරාණ ග්‍රීසිය කේන්ද්‍ර කරගත් මානව ශිෂ්ඨාචාරය පත්විය. එය හුදු පුරාවෘත්තයක්ම නොවන බවට වන බොහෝ ජීවමාන සාක්ෂි අදටත් එහි දැකිය හැකි වේ.

ඔබ හොලිවුඩ් චිත්‍රපට රසිකයෙක්ද ?

එසේනම් ඔබ නියත වශයෙන්ම ග්‍රීක පුරාවෘත්තයන්ට, ජනප්‍රවාදයන්ට හා මිත්‍යා විශ්වාසයන්ට (Greek Mythology) අනුව ගොඩනැගුණු Wrath of Titans, Troy, Clash of Titans හා Hercules වැනි දැවැන්ත සිනමා නිර්මාණ නරඹන්නට ඇතැයි විශ්වාස කරමි.

පුරාණ ග්‍රීකයින් සමත්වූයේ අතිශෝක්තියෙන් යුත් ප්‍රබන්ධ කතා නිර්මාණයට පමණක්ම නොවේ. වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, ජෝතීෂ්‍ය, දර්ශනය, චින්තනය හා දේශපාලන විද්‍යාව වැනි බොහෝ සාරගර්භ විෂයන් පිළිබඳ න්‍යාය, සංකල්ප ලොවට දායාද කරනු ලැබුවේද ඔවුන්ය.

දැනුම් තොටුපළක ඇරඹුම

දැනුම් කෝෂ්ඨාගාරයක් වූ මෙම අතීත ශිෂ්ඨාචාරය අනාගත මානව සංහතිය වෙත දායාද කරන ලද දැනුම් සම්භාරය මෙතෙකැයි කිව නොහැකි වන අතර එවන් වූ දැනුම් සම්භාරයක් සුරැකිව රැකගත් පුරාණ ලෝකයේ මුදුන් මල්කඩ ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාවේ දෙවියන්ගෙ ග්‍රන්ථාගාරය බදු  වූ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය සැළකේ.

Agora හා Alexander යන චිත්‍රපට ද්විත්වය ඔබ නරඹුවානම් මේ දෙවියන්ගෙ පුස්තකාලය ගැන ඔබ නොදැන සිටිනවා විය නොහැක. ඇලෙක්සැන්ඩ්‍රියාව කේන්ද්‍ර කරගත් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ පාලන සමයේ ඔහුගේ හිතවතා සහ ප්‍රධාන සෙන්පතියෙකු වූ ක්ලෝඩියස් ටොලමි. නැත්නම් අපි හැමෝම දන්න දේශ ගවේෂක ටොලමි නම් මහා ගණිතඥයා හා තාරකා විද්‍යාඥයා ⁣මේ ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලය ගොඩනැගීමට මුල් විය නමුත් මෙම සංකල්පයේ හිමිකරුවා වූයේ පැලරම් හී දිමිත්‍රියස් (Demetrius of Phalerum)නම් රාජ්‍යය පාලකයායි. අතීත ග්‍රීක ශිෂ්ඨාචාරයට අයත්  ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය තුළ මේ පුස්තකාලය පිහිටා තිබිණී.

අධිරාජ්‍යයෙකුගෙන් අනාගතයට තෑග්ගක්

මැසිඩෝනියාවේ පාලකයා ලෙස සිය රාජ්‍යය පාලනය අරඹා මැසිඩෝනියාවෙන් ඊජිප්තුවටත්. ග්‍රීසියේ සිට උතුරු ඉන්දියාව දක්වාත් මහා අධිරාජ්‍යයක් දහතුන් වසරක් තුළදී බිහි කළ ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා විසින් මෙම පුස්තකාලය බිහි කිරීමට අනුමැතිය දුන් නමුත් එය භෞතිකව ගොඩ නැගෙන විට ඔහු ජීවතුන් අතර නොවුණි. ඔහු පමණක් නොව මෙම සංකල්පය ජීවමාන කරන්නට වෙහෙසුණු ටොලමිටද එය සජීවීව දැක බලාගත නොහැකි විය.

The Royal Libary of Alexandria නැතිනම් Museum or Mouseion at Alexandria ලෙස ලෝක පූජිත වූ මේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය පුරාණ ලොව බුද්ධිමය නිර්මාණ දහස් ගණනකට සෙවන සපයන ලදි.

ග්‍රීක, ඊජිප්තු සාහිත්‍ය හා දැනුම් ගවේෂණය පිළිබඳ ඇරිස්ටෝ⁣ටල්, ඉයුරිපිඩීස් වැනි දාර්ශනිකයින්ගෙ හා තවත් බොහෝ සමකාලීන විද්වතුන්ගෙ ලොවට නොකී රහස් රැසක් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුරුලේ සුවසේ තැන්පත් පැවතිනි. එකී රහස් සියල්ලම සදාකාලික රහස් බවට පරිවර්තනය වෙමින් ගින්නෙන් හා විවිධ ආක්‍රමණයන්ගේ බලපෑමෙන් විනාශව යන්නට විය.

විද්‍යාවේ හා අවිද්‍යාවේ ගැටුම

ජූලියස් සීසර් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ගින්නෙන් දැවීමට පෙර සිටම එකල පැවති ක්‍රිස්තියානි පල්ලියේ අධිපතීමය බලපෑමටද ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ලක්විනි. සමකාලීන විද්‍යාත්මක සොයා ගැනීම්,දර්ශනයන් හා චින්තනයන් පිළිබඳව ලියවුනු සවිස්තරාත්මක ලිපි ලේඛන හේතුවෙන් පල්ලිය මගින් ගොඩනගන ලද දිව්‍යමය කරුණු අභියෝගයට ලක්වීම නිසා ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුළ රඳවා පැවති ශිෂ්ඨාචාරයක දැනුම අවිද්‍යාවේ පලිගැනීම් වලට හා පීඩාවන්ට ලක්ව අවස්ථා කිහිපයකදීම දඩුවම් විදින ලදි.

නුතන විද්වත් කියවීම

ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය පිළිබඳ ප්‍රමාණවත් භෞතික සාක්ෂි ඉතිරි නොවීම නිසා එහි දැවැන්ත බව ගැන පැහැදිලි චිත්‍රයක් තවමත් නිසි ලෙස නිර්මාණය කර ගැනීමට විද්වතුන්ට හැකියාවක් ලැබී නැත. එම නිසාම එහි ග්‍රන්ථ එකතුවේ විශාලත්වය ගැන විවිධ මත පවතී.

වර්ෂ 2002 දී ඇමරිකානු ජාතික සම්භාව්‍ය විශාරදයෙකු වන රොජර් බැග්නෙල් සිය Alexandria : Library of Dreams නම් ඇමරිකානු දාර්ශනික සමාජයට ඉදිරිපත් කරන ලද ගවේෂණ ලිපි පෙළ හරහා ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාල අන්තර්ගතයේ විශාලත්වය පිළිබඳ කරුණු දක්වා ඇත.

බැග්නෙල් ට අනුව ග්‍රීක සාහිත්‍ය පිළිබඳ තොරතුරු ඇතුලත් Thesurus Linguae Graecae නම් පරිගණක දත්ත ගබඩාව තුළ අතීත ලේඛකයින් 450 ක පමණ තොරතුරු ඇතුලත් වන අතර ඔවුන්ගේ කාර්යයන් පිළිබඳ ඇත්තේ මැකී ගිය පේළි කිහිපයක සාක්ෂි පමණි.මේ ලේඛකයින් ද ක්‍රි.පූ 4 වන සියවසේ ජන්මය ලැබූවන් වේ. එනම් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය බිහි වීමට සියවසකට පෙර මෙලොව වාසය කළ ග්‍රන්ථ කතුවරුන් වේ.කෙසේ නමුත් පුස්තකාලය අයත් වන හෙලන්ස්ටික යුගයේ කතුවරුන් නොසිටියා යන්න ඉන් අදහස් නොවන අතර එම පැවැත්ම තහවුරු කළ හැකි තරම් ප්‍රමාණවත් සාක්ෂි නොවීම හා පැවති සාක්ෂි දුහුවිල්ලට හැරී තිබීම ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය පිළිබඳ අධ්‍යායනයන්ට වැට බැඳ තිබේ.

ක්‍රි.පූ තුන් වන සියවසට අයත් කතුවරුන් 175 ක පමණ තොරතුරු සටහන් වන අතර ඔවුන් අතරින් සාමාන්‍ය කතුවරයෙක් පැපිරස් රෝල් පනහක පමණ ලේඛනයේ යෙදුණා නම් සියවසේ අවසානය වන විට නියත වශයෙන් පැපිරස් රෝල් 31 250 ක් පමණ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ⁣තුළ සුරැකිව පවතින්නට ඇතැයි යන්න බැග්නෙල්ගේ මතයයි.(ක්‍රි.පූ සිව්වන සියවසද ඇතුලුව)

කෙසේ නමුත් මෙම පුස්තකාලය වටිනුයේ එහි ඇති පැපිරස් රෝල් සංඛ්‍යාව නිසා නොව එහි අන්තර්ගත අතීත ලෝකයේ මහා දැනුම් සම්භාරය නිසාවෙනි.මෙය ඇරිස්ටෝ⁣ටල්ගෙ පුස්තකාල ආකෘතියට සමානව ⁣ගොඩ නැගුණු බවටද විශ්වාසයක් පවතී.

සම්ප්‍රදායෙන් ඔබ්බට

ටොලමි III සමයේදී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට පැමිණෙන සියළු දෙනාට තම ලේඛන කාර්යයන් පුස්තකාලයට භාර කරන මෙන් ඉල්ලීමක් වූ අතර එහිදී එම ලේඛන යළි පිටපත් කොට මුල් ලේඛනය ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයටත්, පිටපත මුල් හිමිකරුටත් භාර දෙන ලදි.

මෙම පුස්තකාලය සාම්ප්‍රදායික පුස්තකාලයන්ගෙන් වෙනස් වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් නම් එය රැස්කරගත් දැනුම ඉදිරි පරම්පරාවට සම්ප්‍රෙක්ෂණය කළ පාසලක් හා පුරාණ දැනුම සංරක්ෂණය කළ කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වීමයි.එහිදී පුරාණ ග්‍රීක ලේඛන සංස්කරණය හා ප්‍රතිසංස්කරණ සිදුවූ අතර Aristophanes of Byzantium වැනි සංස්කරණ ශිල්පීන් ඒ අතර ප්‍රමුඛ වේ.

Pindar හා Hesoid වැනි පුරාතන ලේඛකයින්ගෙ සංස්කරණ ශිල්පියා ලෙසත් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ අධ්‍යක්ෂවරයා ලෙසත් ඔහු එවක කටයුතු කර තිබේ.

දුහුවිල්ලෙන් වැසීගිය යුගයේ රුවන් මෙර

  • ජූලියස් සීසර් විසින් ගිණි තැබීම
  • ඕරේලියන්ගේ ප්‍රහාරය ( Attack of Aurelia)
  • තියෝපිලස්ගේ නියෝගය (ක්‍රිස්තියානින් විසින් පේගන් සාහිත්‍ය විනාශ කිරීමට දුන් නියෝග)
  • ක්‍රි.ව 642 හා ඊට පසුව එල්ල වූ මුස්ලිම් ආක්‍රමණ.

මේ සුවිසල් වූ දැනුම් සම්භාරය ලෝකයෙන් උදුරා ගත් අතර එම ආක්‍රමණ වලින් විනාශයට පත් නොවූ පැපිරස් ග්‍රන්ථ විවිධ කාළගුණික හා දේශගුණික සාධකයන්ට නිරාවරණය වීම හා ඇලෙක්සැන්ඩ්‍රියා වරායට ආසන්නව පැවතීම නිසා ලවණ මිශ්‍ර මුහුදු සුළඟට නිරාවරණය වීමේ ප්‍රතිඵල ලෙස ක්‍රමයෙන් දිරාපත්ව විනාශයට පත්වෙන ලදි.

Alexander (2004) සිනමා ප⁣ටයේ අවසන් දර්ශනයේදී ලෝ ප්‍රකට රංගන ශිල්පී ඇන්තනී හෝප්කිංස් වයෝවෘද්ධ ටොලමි ලෙස රංගනයේ යෙදෙමින් කරන ප්‍රකාශයට අනුව මහා ඇලෙක්සැන්ඩර් නම් ඒ යුග පුරුෂයා පිළිබඳ බොහෝ රහස්, අනාවරණයන් හා ඔහුගේ සුවිසල් අනාගත දැක්මන් පිළිබඳ දුර්ලභ තොරතුරු ලේඛන ගත කොට අනාගත පරපුර වෙනුවෙන් තැන්පත් කරනු ලැබුවේද මේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුළයි.

නමුත් කිසිදා මේ රහස් දැනගැනීමට අනාගත ලෝකයට නොහැකි වුන අතර සදාකාලික රහස් ගොන්නක් සමගින් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය සශ්‍රීක යුගයක නොකී කතාවන් රැසක් සමගින් ගිණියම් ඊජිප්තුවේ වැලිතලාවන් අතර සැගව යන්නට විය.

අචින්ත උදාන රණසිංහ

වෙනත් ලිපි – හිතන්නට පෙර මිනිසා මියයන ලොව භයානක ජෛව අවි

1 Comment

    Thank u 🌼🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *