කොත්තු අද බොහෝ දෙනා අතර ජනප්‍රිය, හැමෝම ප්‍රිය කරන ආහාරයක්. නමුත් ආහාරයක් ගැනීමේ දී ආහාරයේ රසය මෙන්ම ගුණය පිළිබඳව ද අවධානය යොමුකිරීම වැදගත්. අපි ආහාර ලබා ගන්නේ විශේෂයෙන්ම අපේ ශරීරයට ශක්තිය ලබා ගන්න වගේම ශරීර වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමටයි. ඉතින් අපි ලබා ගන්නා ආහාරවල අපිට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පැවතීම අත්‍යවශ්‍ය වෙනවා. ජනප්‍රිය රාත්‍රී ආහාරයක් වන කොත්තු රොටිවල සිරුරට අවශ්‍ය මේ පෝෂක සංඝටක තිබෙනවා ද යන්න අද වන විට බහුලව කතා බහට ලක්වෙනවා.
කෙසේ වෙතත් මෙවැනි අවම පෝෂණ ගුණයක් ඇති ආහාර දීර්ඝ කාලීනව පරිභෝජනයෙන් විවිධ පෝෂණ ගැටළුවලට මුහුණ දීමට අපට සිදුවෙනවා. මේ ලිපියෙන් ඒ පිළිබඳවත් අපි විමසා බලමු.
අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!
1. ස්ථුලතාවය

කොත්තු වැනි ආහාර වැඩි වශයෙන් දීර්ඝ කාලීනව, පුරුද්දක් ලෙස ආහාර වේලට එකතු කර ගැනීම තුළින් පුද්ගලයෙකුගේ තරබාරුකම ඉහළ යන්න පුළුවන්. කොත්තු වල කැලරි හා මේද බහුල නිසා එය පුද්ගලයන්ගේ තරබාරුකම වැඩි වීම කෙරෙහි බලපානවා. ඒ වගේම මෙම තරබාරුකම දියවැඩියාව, සන්ධි වේදනාව සහ විවිධ හෘද රෝග වැනි ගැටළු සඳහා මූලාරම්භය ද වෙනවා.
2. ඉගෙනීම හා මතකය පිළිබඳ ගැටළු

සීනි හා මේදය අධික ලෙස ආහාරයට ගැනීම, ඉගෙනීමට හා මතකය ගොඩනැගීමට උපකාරී වන මොළයේ ක්‍රියාකාරීත්වය යටපත් කරනවා. ඉතින් මේ කොත්තු වලත් මේදය බහුල නිසා මේවා දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන් ඉගෙනීමේ හා මතකයේ ගැටළු ඇති වෙනවා.
3. ආහාර රුචිය නැතිවීම හා ආහාර දිරවීමේ ගැටළු

කොත්තු වල අධික රසය හේතුවෙන් මේවා ඕනෑම කෙනෙක් අධික ලෙස ආහාරයට ගැනීමට පෙළඹීම සාමාන්‍යයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ සීනි හා මේද මට්ටම් ඉහළ යාම නිසා සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමට නොහැකි වෙනවා. එමගින් මොළයට සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. තව ද මෙවැනි ආහාරවල දිරවීමේ ගැටළු ද ඇති වෙනවා. ඒවා අජීර්ණ තත්ත්ව වලට හේතු වෙනවා.
4. මානසික අවපීඩනයට තුඩුදෙන මානසික බලපෑම්

කොත්තු වැනි ආහාර අධික ලෙස පරිභෝජනයට ගැනීම මගින් මොළයේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. මේ වෙනස නිසා අපගේ ශරීරය එවැනි ආහාර මත වැඩිපුර යැපීමට පුරුදු වන අතර ඒවාට වැඩි වැඩියෙන් ආශා කිරීමට පෙළඹෙනවා. එය ඇබ්බැහිවීමක් මෙන් ක්‍රියා කරන අතර මෙය මානසික අවපීඩනයට ද හේතු වෙනවා. එය තවදුරටත් ශරීරයේ හෝර්මෝන අසමතුලිතතාවයට ද හේතු වෙනවා.
5. ප්‍රමාණවත් ශරීර වර්ධනයේ මදකම
නිරෝගී ශරීරයකට එහි වර්ධනයට හා සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉවහල් වෙනවා. කොත්තු වැනි ආහාරවල පෝෂණ ගුණ අවම වන අතර එම නිසා මේවා දීර්ඝ කාලීනව ආහාර ලෙස ගැනීම තුළින් මොළයට මෙන්ම ශරීරයේ අනෙකුත් කොටස්වල වර්ධනයට ද බාධා කරනවා.
මේ අනුව පෙනී යන්නේ කොත්තු රසවත් ප්‍රණීත ආහාරයක් වුවත්, ඒවා දීර්ඝ කාලීනව පමණට වඩා ආහාරයට එක්කර ගැනීම එතරම් ගුණදායක නොවන බවයි.
එච්. චතුෂිකා අංජලී පෙරේරා
වෙනත් ලිපි – අද අපි පාවිච්චි කරන්නේ සබන්මද ?