අතීතයේ දී ගැමි ජනයා අතර කටවහරින් පැමිණි සමහර ආහාර පුරුදු අදටත් අපේ සමාජයේ නොනැසී පවතිනවා. ඒ කරුණු පැහැදිලි කිරීමට විද්‍යාත්මක පදනමක් අතීතයේ දී නොතිබුනත් කුමන හෝ ආශිර්වාදයකට එසේ තහංචි දැමූ ආහාර පාන නිසා සෞඛ්‍යමත් දිවියක් පවත්වා ගැනීමට හැකි වුණා.

එහෙත් අද වෙනකොට ඒ සමහර පුරුදුවල විද්‍යාත්මක පැතිකඩත් අනාවරණය කරගෙන තියෙනවා. අද මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ එවැනි කරුණු කිහිපයක් පිළිබඳවයි.

1) අන්නාසි හා අමු ගස්ලබු ගැබිනි මවට අහිතකරයි.

අතීතයේ දී කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසු ඇගේ ඇවතුම් පැවතුම් වගේම ආහාර පාන පිළිබඳව වැඩි සැලකිලිමත් බවක් දැක්වීම දකින්නට ලැබුණා. අන්නාසි, ගස්ලබු ඇයට නුසුදුසු ආහාර ලෙසටයි අතීතයේ දී සැලකුණේ. අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීමට, දරු ගැබ ස්වභාවිකව ගබ්සා කරවීමට අමු ගස්ලබු, අමු අන්නාසි යොදාගත් බව සැලකෙනවා. අන්නාසිවල අන්තර්ගත “ප්‍රොස්ටග්ලැන්ඩීන්” සංයෝගය ගර්භාෂ බිත්ති සංකෝචනය උත්තේජනය කිරීම සිදු කරනවා.

හෝර්මෝනමය පාලනය මගින් එය වළක්වන බැවින් අන්නාසි ගැබිනි සමයට අහිතකරයි. නමුත් අන්නාසි යනු විටමින් C ඇතුළු විටමින් වර්ග බොහෝමයක් අන්තර්ගත පලතුරක් බව මතක තබා ගත යුතුයි. ගස්ලබු වල අන්තර්ගත වන “පැපේන්” නම් ස්වභාවික එන්සයිමය ගර්භනී කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝර්මෝන මට්ටම අසමතුලිත වීමට දායක වන බැවින් දරු ගැබ වෙත අහිතකර බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ගර්භනී සමයට ආවේණික මළබද්ධය වැනි තත්ත්ව සඳහා ගස්ලබු ඉතාම සුදුසු පලතුරක් ලෙස සැලකෙනවා. එබැවින් ඉදුණු ගස්ලබු සුළු ප්‍රමාණයක් ආහාරයට ගැනීම සුදුසුයි.

2) කොස් සමඟ අඹ ආහාරයට ගැනීම සුදුසු යි.

හෙළ ආයුර්වේදය අනුව කොස් කියන්නේ පෝෂක ගුණ 38 ක් පමණ අන්තර්ගත, ලෙඩ රෝග 35 කට පමණ ගුණ දෙන ආහාර වර්ග රාශියක් සකසා ගත හැකි විශ්මිත ඵලයක්. එහි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, යකඩ, පොටෑසියම්, අයඩීන්, පොස්පරස් මෙන්ම විටමින් වර්ග ගණනාවක් හා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල එකොළහක් පමණ අන්තර්ගත වෙනවා.

නවතම පර්යේෂණවලට අනුව කොස් වල අන්තර්ගත මුළු විටමින් ප්‍රමාණය 540IU පමණ වෙනවා. නමුත් කොස් අධිකව ආහාරයට ගැනීම නිසා ඇති වන අතිරික්ත වායු නිෂ්පාදනය හා ආහාර මාර්ගපේශිවල චලන අවම කිරීමෙන් බඩ පිපුම වැනි තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. කොස් ආහාරයට ගැනීමේ දී ඇතිවන මෙවන් සංකූලතා මඟහරවා ගැනීමට අඹ ව්‍යාංජනයක් ලෙස හෝ අතුරුපසක් ලෙස ආහාරයට එක් කර ගැනීම අතීතයේ දී සිදුවුනා. තන්තු වලින් පොහොසත් අඹ හොඳ ආහාර ජීර්ණයකට දායක වන අතර එහි අන්තර්ගත විවිධ එන්සයිම එම ක්‍රියාවලියට ඍජුව දායක වෙන බැවින් අතීතයේ කොස් සමඟ අඹ ද ආහාර වේලට එකතු කර ගත්තා

3) කෑමෙන් පසුව තේ, කෝපි පානය හා ස්නානය කිරීම අහිතකරයි.

තේ හෝ කෝපි පානය අප අතර අතීතයේ සිට පැවත එන බොහෝ ජනප්‍රිය පුරුද්දක්. තේ වල අන්තර්ගත “ටැනීන්” සහ කෝපි වල අන්තර්ගත “කැෆේන්” මගින් ඔබේ ආහාර වේලෙහි අඩංගු යකඩ අවශෝෂණය අඩාල කරවීම සිදු කරනවා. එනිසා ඔබ කොතරම් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගත්තත් තේ හෝ කෝපි පානය මගින් එහි පෝෂණය ඔබට නොලැබී යනු ඇත.

අවම වශයෙන් ආහාර වේලක් සහ තේ හෝ කෝපි පානය කිරීම අතර පැයක පමණ කාලයක් තබා ගැනීම වෛද්‍ය නිර්දේශයයි. ස්නානය කිරීමේ දී අපේ සිරුරේ උෂ්ණත්වය පහළ යාමත්, එය යථා තත්ත්වයට ගෙන ඒමට රුධිර පරිවහන වේගය ඉහළ යාමත් සිදු වෙනවා.

විශේෂයෙන් අත් පා ආශ්‍රිතව මෙම ක්‍රියාව අධිකව සිදු වීම දක්නට ලැබෙනවා. එවිට ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව රුධිර පරිවහන වේගය අඩු වීමෙන් ආහාරවල පෝෂක ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලිය අඩාල වෙනවා. ආමාශ පේශිවල රුධිර සැපයීම අඩාල වීමෙන් ජීර්ණය නිසි පරිදි සිදු නොවේ. ඒ නිසා අතීතයේදී “කාපු ගමන් නෑවොත් බඩ පුරවා දානවා” යැයි මතයක් පැවතුනා. ආහාර ගැනීමට පෙර ස්නානය කිරීම වෛද්‍ය නිර්දේශයයි.

4) රෑ කෑමට කරවිල සුදුසු නොවේ

කරවිල එයට ආවේණික තිත්ත රසය නිසා කෑමට මද අප්‍රිය බවක් දැක්වුව ද එය ශරීරයේ අන්තර්ගත අමතර කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමෙන් හෘද රෝග සඳහා අවදානම අවම කිරීමටත්, ශරීර ගත වන සෝඩියම් ප්‍රමාණය පාලනයෙන් රුධිර පීඩනය ප්‍රශස්තව තබා ගැනීමටත් දායක වෙනවා. එමෙන්ම බීටා කැරොටින් අඩංගු බැවින් දෘෂ්ටි ආබාධ වළක්වා ගැනීමට මෙන්ම විටමින් A හා C මගින් සමේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමටත් දායක වෙනවා.

කරවිල වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් ශරීරයේ පිළිකා රෝග ඇතිවීමේ හැකියාව ද අවම කරනවා. සර්ප දෂ්ට කිරීම් නිසා ආයුර්වේදයේදී ලබා දෙන ඔසු වර්ග වල ගුණාත්මක බව අවම කිරීමට මේ කරවිල වල ප්‍රතිඔක්සිකාරක හැකියාව දායක වෙනවා.රාත්‍රියේදී සිදු වන සර්ප දෂ්ට කිරීම් ඉහළ නිසාත්, ඖෂධ වල ගුණය සම්පූර්ණයෙන් නොලැබී යන නිසාත් රාත්‍රී ආහාර වේලට කරවිල ව්‍යාංජනයක් ලෙස යොදා නොගන්නට අපේ පැරැන්නෝ උත්සහ කළා.

5) උදේ රජෙක් වගේ, දවාලට සිටුවරයෙක් වගේ, රෑට යාචකයෙක් වගේ ආහාර ගන්න.

කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගෙවනු ලැබූ අතීත වැසියන් අතර මෙය ඉතා ජනප්‍රිය යෙදුමක්. වර්තමානයේ විද්‍යාත්මක පර්යේෂණ අනුව මේ කියමන සාධාරණ බව තහවුරු කර තිබෙනවා. වැඩි කැලරි ප්‍රමාණයක් අන්තර්ගත ආහාර උදෑසන ආහාර වේලට ද, දිවා ආහාර වේලට තරමක් අඩු සහ රාත්‍රියේ දී අවම කැලරි ප්‍රමාණයක් අන්තර්ගත ආහාර ලබා ගැනීමෙන් නිරෝගී සෞඛ්‍ය පැවැත්මකට දායක වන බව සැලකෙනවා.

රාත්‍රියේදී නින්ද සඳහා යෙදෙන කාලය අතරතුර ශරීරයේ කැලරි දහනය වීමත්, එමගින් අවම ග්ලූකෝස් මට්ටමක් රුධිරයෙහි පැවතීමත් නිසා උදෑසන ආහාර වේලට පෝෂ්‍යදායී ආහාර සපයා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එමගින් hypoglycemia වැනි රෝගී තත්ත්ව ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්.

අතීතයේ ගැමි ජීවන රටාව හා දේශිය වෛද්‍ය ක්‍රම එකිනෙකට බැඳී තිබූ බැවින් මෙවන් අපූරු ආහාර පුරුදු ගොඩනැගෙන්නට ඇත. වර්තමානයේ දී එවන් යෙදුම් වල විද්‍යාත්මක පදනමක් ඇති බව අනාවරණය වී ඇති පසුබිමක එම පුරුදු නුවණින් වටහාගෙන තම දිවියට ආදේශ කර ගැනීම බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ වෙත මඟ විවර කරනු නොඅනුමානයි.

දිනිති සෞභාග්‍යා

වෙනත් ලිපි – ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැනගත යුතු කරුණු මොනවද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *