වර්තමානයේ සමාජය තුල දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් තමයි ගැබිණි මව්වරුන්ට සහ කුඩා දරුවන්ට පරිභෝජනය සඳහා නිපදවන ත්‍රිපෝෂ වල ඇෆ්ලටොක්සින් අඩංගු වී ඇති ද යන්න. ඉතින් ඇත්තටම මොනවද මේ ඇෆ්ලටොක්සින් කියන්නේ? ඇෆ්ලටොක්සින් වල අහිතකර බලපෑම් මොනවා ද? ඇෆ්ලටොක්සින් අඩංගු ආහාර අනුභව කලහොත් කුමක් සිදුවේ ද?

මේ හා සම්බන්ධ මෙවැනි වැදගත් කරුණු දැනගන්න කැමති ඔයාලට මේ ලිපිය වැදගත් වේවි.

1. මොනවද මේ ඇෆ්ලටොක්සින් කියන්නෙ ?

ඇෆ්ලටොක්සින් කියන්නෙ කාලෙන් කාලෙට අපේ රටේ බහුලව ඉස්මතුවන මාතෘකාවක්. මෑත කාලයේදීත් ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක් වුණා. මීට අමතරව ඇෆ්ලටොක්සින්, වියළි මිරිස්, ධාන්‍ය වර්ග, ඉරිඟු, නට්ස් වර්ග, කිරි, සහල්, කොකෝවා, වැනි අප බහුලව භාවිත කරන ආහාර වල පවා අඩංගු වෙන්න පුලුවන්. මෙය උණුසුම් සහ තෙතමනය ඇති ප්‍රදේශ වල දක්නට ලැබෙන 𝐴𝑠𝑝𝑒𝑟𝑔𝑖𝑙𝑙𝑢𝑠 𝑓𝑙𝑎𝑣𝑢𝑠 සහ 𝐴𝑠𝑝𝑒𝑟𝑔𝑖𝑙𝑙𝑢𝑠 𝑝𝑎𝑟𝑎𝑠𝑖𝑡𝑖𝑐𝑢𝑠 යන දිලීර විශේෂ දෙක මගින් නිපදවෙන විෂ රසායනිකයක්.

2. ඇෆ්ලටොක්සින් වර්ග මොනවද ?

දැනට ඇෆ්ලටොක්සින් වර්ග 20 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇතත් මිනිසාගේ සහ සතුන්ගේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑම් ඇතිකල හැකි වර්ග ලෙස AFB1, AFB2, AFG1 සහ AFG2 දක්වන්න පුලුවන්. මේ අතරින් උග්‍ර විෂ සහිත රසායනිකය වන්නේ AFB1 ය. මෙම ඇෆ්ලටොක්සින් වර්ග කරනුයේ ඒවායේ රසායනික ව්‍යුහයේ පවතින ලක්ෂණ අනුවයි. අස්වනු නෙලීමට පෙර වගේම අස්වනු නෙලීමෙන් පසුවත් මේවා ආහාර වලට එකතු වෙන්න පුලුවන්. ඒ වගේම සතුන්ට ලබාදෙන ආහාර වල පැවතියහොත් ආහාරදාම ඔස්සේත් (කිරි, බිත්තර, මස් හරහා) මිනිසාට ඇෆ්ලටොක්සින් ශරීරගත වියහැකි බව පරීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

ත්‍රිපෝෂ ගැන සලකා බලන විට එහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩ ඉරිඟු, සෝයා බෝංචි වැනි දේ වලට අස්වැන්න ලබාගැනීමේ දී වගේම ඉන්පසුව ගබඩා කර තැබීමේ දී හෝ නිෂ්පාදන ක්‍රියාවලියේ දී හෝ ඇෆ්ලටොක්සින් මුසු වීමට පුලුවන්. ඒ වගේම ත්‍රිපෝෂ නිෂ්පාදනයේ දී යොදාගන්නා අමුද්‍රව්‍යයක් වන කිරි, AFB1 හෝ AFB2 වලින් දූෂිත ආහාර අනුභව කල එළදෙනුන්ගෙන් ලබාගැනීමේ දී ඒ හරහා ද ඇෆ්ලටොක්සින් ත්‍රිපෝෂ වලට එක් වීමට වැඩි ඉඩක් පවතිනවා.

3. ඇෆ්ලටොක්සින් හඳුනාගන්නේ කොහොමද ?

විශේෂයෙන්ම ඇෆ්ලටොක්සින් වලට විශේෂිත වර්ණයක්, ගන්ධයක් හෝ රසයක් නැති නිසා ඒවා භෞතිකව පහසුවෙන් හඳුනාගන්නට නොහැකියි. නමුත්, ඇෆ්ලටොක්සින් යම් ආහාරයක අඩංගු ද යන්න දැනගැනීමට විශේෂිත පරීක්ෂණ තියෙනවා වගේම ඒ සදහා විශේෂ දැනුමක් වගේම හොඳ පුහුණුවක් තිබීමත් අත්‍යවශ්‍යයි.

4. ඇෆ්ලටොක්සින් අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද?

විවිධ ආහාර ඔස්සේ ඇෆ්ලටොක්සින් ශරීර ගත වූ පසු ඇෆ්ලටොක්සින් සෛල පටල හරහා අවශෝෂණය කර අපගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළුවෙනවා. ඉන්පසු ඒවා රුධිරයේ විවිධ පටක වලට සහ අක්මාව වෙත බෙදාහරිනු ලබනවා. මෙලෙස ශරීරගත වන ඇෆ්ලටොක්සින් අප ශරීරය තුළ විශාල අහිතකර ප්‍රතිඵල ඇති කිරීමට මග සලසා ගන්නවා. ප්‍රධාන වශයෙන්ම ඇෆ්ලටොක්සින් කියන්නෙ ඉහළ පිළිකාකාරක හැකියාවක් පවතින රසායනික සංයෝගයක්. ඒ වගේම ඇෆ්ලටොක්සින් වලට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කිරීමටත්, ජාන වලට බලපෑම් ඇතිකිරීමටත් හැකියාව පවතින බව මේ වන විට සොයාගෙන තියෙනවා.

ප්‍රධාන වශයෙන්ම ඇෆ්ලටොක්සින්හි පිළිකා ඇතිකිරීමේ විභවය වන්නේ DNA adducts වල වෙනස් කල ආකාර නිපදවීමේ හැකියාවයි. ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම හා සම්බන්ද මූලික රෝගය Hepatocellular Carcinoma (HCC අක්මා පිලිකා) වේ. මෙය ගෝලීය වශයෙන් පිළිකා මරණ සඳහා තුන්වන ප්‍රමුඛතම හේතුව ලෙසයි සැලකෙන්නෙ.

5. ඇෆ්ලටොක්සින් ඉවත් කරන්නේ කොහොමද ?

මෙම ඇෆ්ලටොක්සින් හි බලපෑම එය ශරීරගතවන ප්‍රමාණය සහ නිරාවරණය වන ප්‍රමාණය මත තීරණය වන්නක්. නමුත් ලංකාව වැනි රටක ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ පවතින නීති රීති සහ ඒවා ක්‍රියාත්මකවන ආකාරය සාධනීය මට්ටමක නොපවතින බැවින් සෑම ආහාරයක්ම පරිභෝජනයට පෙර දෙවරක් සිතීමට අපට සිදුවේ. කෙසේ නමුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මිනිසාට දැරිය හැකි උපරිම ඇෆ්ලටොක්සින් අගයන් වර්තමානය වන විට ප්‍රකාශයට පත් කරල තියෙනවා.

ඉතින් මේ අගයන් රට අනුව, ආහාර වර්ගය අනුව වගේම වයස් මට්ටම අනුවත් වෙනස් වෙනවා. මෙම ඇෆ්ලටොක්සින් රසායනිකය අධික තාපස්‌ථායි නිසා ඒවාට අප ආහාර පිසින උෂ්ණත්වයේදී පවා නොනැසී පැවතීමට හැකියාව පවතිනවා. එම නිසා ආහාර පිසීමේ ක්‍රියාවලියේ දී ඇෆ්ලටොක්සින් විනාශ කිරීමේ හැකියාවක් අප සතුව නැහැ. නමුත් හැකි තරම් නැවුම් ආහාර පරිභෝජනය කිරීමත්, පිරිසිදු ආහාර වර්ග දිලීර වර්ධනයට හිතකර නොවන පරිදි අසුරා තබා ගෙන ආහාරයට ගැනීමත් අපට කල හැක්කක්. ඒ වගේම මේ වන විට ඇෆ්ලටොක්සින් විනාශ කිරීමට සහ වර්ධනය අවම කිරීමට පරීක්ෂණ ලොව පුරා සිදු වෙමින් පවතින අතර ඒවායේ සාර්ථක ප්‍රතිඵල ද ලැබෙමින් පවතිනවා.

ඇෆ්ලටොක්සින් සහිත ආහාර පරිභෝජනය වැළැක්වීමට නම් වැදගත්ම සාධකය වන්නේ ඒවා ආහාර වලට එකතු වීම වළක්වා ගැනීමයි. එය ගොවියන්, ආහාර නිෂ්පාදකයන් පමණක් නොව ගෘහණියන් පවා දැඩි අවධානයක් යොමු කල යුතු කරුණක් බවට පත්ව අවසන්.

මෙවැනි උග්‍ර විෂ සහිත ඇෆ්ලටොක්සින් ශරීරගත වීම බරපතල සෞඛ්‍යමය ගැටලු ඇති කිරීමට හේතුවන බැවින් එවැනි ආහාර වලින් වැළකී සිටීමට ද අප සියලු දෙනා කටයුතු කල යුතුයි.

සංජනා දේවින්දි

වෙනත් ලිපි – කට වහරින් පැමිණි විද්‍යාත්මක ආහාර පුරුදු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *