වරකා යනු ලෝකයේ නිවර්තන කලාපවල විශාල වශයෙන් වැඩෙන විදේශීය පලතුරකි. දකුණු ඉන්දියාවට ආවේණික මෙම ශාකය මොරේසි (Moraceae) කුලයට අයත් ශාකයක් වන අතර එහි විශේෂත්වය වන්නේ ඵලය අසාමාන්‍ය ලෙස විශාල වීමයි.
වරකා වල ඇති රස නහර පිනවන මිහිරි පලතුරු රසය ඇපල්, අන්නාසි, අඹ සහ කෙසෙල් ඇතුළු පලතුරු එකතුවක රසයට සමාන වන බව කියනු ලැබේ. අනෙක් පලතුරු වලට සාපේක්ෂව වරකා සුවිශේෂී වන්නේ එහි අන්තර්ගත ප්‍රෝටීන් ප්‍රමාණය නිසයි. ඇපල් සහ අඹ වැනි පලතුරු කෝප්පයකින් සපයන ප්‍රෝටීන් ග්‍රෑම් 0 – 1 අතර ප්‍රමාණයට සාපේක්ෂව වරකා කෝප්පයකින් ප්‍රෝටීන් ග්‍රෑම් 3 කට වඩා සපයයි.
අඩු GI අගයක් දරන මෙම පලතුර තන්තු, ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක කිහිපයක් සපයන අතර හෘද රෝග, දියවැඩියාව වැනි නිදන්ගත රෝග කිහිපයකම වර්ධනය වැළැක්වීමට උපකාරී වේ. වරකා ආශ්‍රිත නිෂ්පාදන මගින් දේශීය මෙන්ම විදේශීය විනිමය ඉපයිය හැකි මාර්ග සලසා ගත හැකි ය. ඒ අතරින් වරකා ජෑම් ඉතා පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි රසයෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතු ආහාරයකි.

අවශ්‍ය ද්‍රව්‍ය –
- ඇට ඉවත් කළ වරකා මදුළු 500g
- වතුර කෝප්ප 1
- සුදු සීනි කෝප්ප 1 1/2
- දෙහි මේස හැඳි 1
- ලුණු තේ හැඳි 1/4
සාදන ක්‍රමය
පළමුව වරකා මදුළු වලින් කොටසක් ගෙන කුඩා කැබලි වලට කපා ගන්න.
ඉන්පසු කැබලිවලට කපා නොගත් ඉතිරි ප්‍රමාණය බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
ඉන් පසු භාජනයක් ලිප තබා එයට සාදාගත් පල්පය සහ කපාගත් කැබලි එක්කර මදගින්නේ මිනිත්තු 30 – 35 ක් පමණ පිසගන්න. (කුඩා වරකා කැබලි මගින් මිශ්‍රණයට අමතර වයනයක් ලබා දේ.)
පිසීම සඳහා ගතවන කාලය මිශ්‍රණයේ ප්‍රමාණය මත තීරණය වේ).
මිශ්‍රණය හොඳින් උකු වී පදමට පැමිණි විට ලිපෙන් ඉවත් කර සිසිල් වීමට තබන්න.
ඇසුරුම –
ජීවානුහරණය කරගත් වීදුරු බෝතල් වල ඇසිරීම සිදු කරයි. එමගින් ආහාරය කල්තබා හැකි කාලය දීර්ඝ වේ. බෝතල් ජීවානුහරණය කිරීම සඳහා මිනිත්තු 5 ක් පමණ නටන ජලයේ බහා තබන්න. මෙය මාස 6 ක පමණ කාලයක් කල්තබා ගත හැක. ඉන්පසු ලේබල් කරන ලද වරකා ජෑම් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට පුළුවන්.
වරකා ජෑම් නිෂ්පාදනයට අදාළ වැදගත් කරුණු කීපයක් මෙසේ දැක්විය හැක.
- ඇසිරීමට ගන්නා වීදුරු බඳුන් පිරිසිදු හා වියළි ඒවා විය යුතුයි
- ඇසිරීමේදී ජෑම් බෝතල් සම්පූර්ණයෙන්ම පිරවීම සිදු කළ යුතුය.
- සාදාගත් ජෑම් වාතයේ ගැටීම අවම කළ යුතුය.
සැකසුම – ඕෂධී ආයුෂා ජයතිලක
වෙනත් ලිපි – මේ රෝග ලක්ෂණ වලින් ඔබටත් වකුගඩු රෝගය දැයි හඳුනා ගන්න