විශ්ව ගම්මාන සංකල්පය යථාර්ථයක් බවට පත් කර ගත් විසි එක්වන සියවසේ මිනිසුන් ලෙස මෙතෙක් නිපද වූ නව නිපැයුම් ප්‍රමාණය සංඛ්‍යා වශයෙන් අති විශාල වේ. මෙම නව නිපැයුම් පිළිබඳව සොයා බැලීමේ දී අප එදිනෙදා මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සඳහා විසඳුමක් ලෙස වගේම යම්කිසි අසීරු කාර්යයක් පහසු කිරීම අරමුණු කරගෙන නව නිෂ්පාදන, නිෂ්පාදන ක්‍රියාවලි හෝ නව සංකල්ප බිහි වී ඇති බව පැහැදිලි වේ. එමගින් කාර්යයේ සාර්ථක බව, ඵලදායී බව සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ඇත. නව නිපැයුම්කරුවකුගේ සංකල්පනාවක් ප්‍රායෝගික ලෙස භාවිතා කිරීමෙන් නව නිෂ්පාදනයක් බිහි වීම සිදු වේ.

මේ ලිපිය කියවන ඔබටත් නව සොයාගැනීම්, නව නිෂ්පාදන සිදු කල හැකිය, එසේම එවන් නව සංකල්පනා වලින් යුතු නව නිපැයුම්කරුවකු විය හැකි ය. නමුත් ඔබ ඒ පිළිබඳව මනාව දැනුවත් ද? ඔබේ නිෂ්පාදනයට හෝ සංකල්පනාවට මනා වටිනාකම ලබා දීමටත්, එහි නෛතික පසුබිම පිළිබඳව දැනුවත් වීම තුළින් ඔබ මුහුණ දිය හැකි අපහසුතා මග හරවා ගැනීමටත් ඔබේ බුද්ධිමය දේපළ සඳහා ආරක්ෂාව ලබා ගැනීමටත් ඔබට මෙම ලිපිය උපකාරී වන බව නිසැකයි.

පේටන්ට් බලපත්‍ර යනු කුමක් ද?

නව නිපැයුම්කරුවන් වෙත තම නිෂ්පාදනයේ, නව සංකල්පනාවේ අයිතිය පිරිනැමීම වෙනුවෙන් ලබාදෙන පේටන්ට් බලපත්‍ර මගින් එම නිෂ්පාදනයේ අයිතිය සුරැකෙන අතර එය වෙළෙඳපොළ නිෂ්පාදිතයක් බවට පත් කිරීමේදී හෝ යම් ආයතනයකට විකිණීම නෛතිකව සිදුකිරීමට හැකි ය. එසේම බුද්ධිමය දේපළ මංකොල්ලකෑම් වැනි අනීතික සිදුවීම් වළක්වා ගැනීමටත් මෙමගින් අවස්ථාව හිමි වේ.

පේටන්ට් බලපත්‍ර පිරිනැමීම රජය සතු ක්‍රියාවලියක් වන අතර එමගින් නව නිෂ්පාදනය වෙනුවෙන් ඒකාධිකාරය පිරිනමයි. එනම් පේටන්ට් බලපත්‍රය මගින් එහි ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත්‍රය ගොනු කළ දින සිට විසි අවුරුද්දක කාලසීමාවක් සඳහා එම නව නිපැයුම සෑදීමෙන්, භාවිතා කිරීමෙන් සහ විකිණීමෙන් අන් අය බැහැර කිරීමේ අයිතිය එම නිපැයුමේ හිමිකරුට ලබා දේ. පේටන්ට් හිමිකරුට, එම පේටන්ට් බලපත්‍රය හිමි තාක්ෂණය භාවිතා කිරීමට, විකිණීමට හෝ බලපත්‍ර මගින් පවරා දීමට හැකියාව ඇති අතර එමගින් ආර්ථික ප්‍රතිලාභ අත් කරගත හැකි ය.

පේටන්ට් බලපත්‍ර පිරිනමන්නේ ඇයි?

මෙමගින් නව නිපැයුම් ආරක්ෂා කරන අතර නව නිපැයුම් මගින් නිපැයුම්කරුවන්ට අත් වන ප්‍රතිලාභ සහතික කර ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සඳහා දිරි ගැන්වීම ලබා දේ. යම් රටක් සතු නව නිෂ්පාදන, නව සංකල්ප ප්‍රමාණය එහි සංවර්ධන මිනුම් දණ්ඩක් ලෙස භාවිතා වේ.

පේටන්ට් බලපත්‍ර ලබාදීම තුළින් තව දුරටත් නව නිෂ්පාදන සිදුකිරීම සඳහා දිරිගැන්වීමක් ලැබෙන අතරම රටක් වශයෙන් ආයෝජන ප්‍රවර්ධනය, ආර්ථික සහ තාක්ෂණික සංවර්ධනය සඳහා මග විවර වේ.

ඕනෑම නව නිෂ්පාදනයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගත හැකි ද?

නව නිෂ්පාදනයක් යනු මේ වනවිට භාවිතයේ නොමැති, කාර්මික වශයෙන් යොදා ගත හැකි නිෂ්පාදනයකි. මෙවැනි නිෂ්පාදන සඳහා එය අයත් ක්ෂේත්‍රයේ යම් නිපුණතාවයක් සහිත අයෙකුට එම නිපැයුමේ ඉදිරි තාක්ෂණික පියවරක් හෝ වැඩිදියුණු කිරීමක් සඳහා පේටන්ට් බලපත්‍ර පිරිනැමීම සිදු වේ.

එසේම වලංගු බලපත්‍රයක් සහිත නව නිපැයුමක් පළමු බලපත්‍ර හිමිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි වැඩි දියුණු කිරීම සඳහා ද පේටන්ට් බලපත්‍ර පිරිනැමේ. මෙම රෙගුලාසි වලංගු වන ඕනෑම නව නිෂ්පාදනයක් වෙනුවෙන් මේ වන විට පේටන්ට් බලපත්‍ර ලබා දෙයි.

පේටන්ට් බලපත්‍ර ලබාදිය නොහැකි වන්නේ කවර අවස්ථා වලදී ද?

  • ඉහත රෙගුලාසි වලට අනුකූල නොවන නිෂ්පාදන සඳහා.
  • පෙර සොයා ගැනීමක් නැවත ඉදිරිපත් කිරීම.
  • විද්‍යාත්මක සිද්ධාන්ත සහ ගණිත ක්‍රම.
  • ව්‍යාපාර කටයුතු, මනෝමය ක්‍රියා හෝ ක්‍රීඩා සඳහා යෝජනා ක්‍රම සහ රීති.
  • ශල්‍යකර්ම, රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර ක්‍රම ඇතුළත් ව්‍යවහාරික ක්‍රම.
  • මහජන සාමය, සදාචාරය, සෞඛ්‍යය ආරක්ෂා කිරීම හෝ පරිසරයට සිදුවන හානි වළක්වාලීමට අදාළ නව නිපැයුම්
  • ජීව විද්‍යාත්මක, ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් නොවන ශාක, සතුන් නිෂ්පාදනය සඳහා වන ජීව විද්‍යාත්මක ක්‍රියාවලි

පේටන්ට් බලපත්‍රයක් ප්‍රදානය කරන්නේ කෙසේ ද?

පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඔබගේ නිෂ්පාදනය භෞතිකව නිමවීම අත්‍යවශ්‍ය නොවන අතර එය පිළිබඳ මනාව විස්තරයක් සහිත ලේඛනයක් පිළියෙල කිරීම ප්‍රමාණවත් වේ. නියමිත ආකෘති පත්‍රය භාවිතා කර නිසි පරිදි සම්පූර්ණ කල අයදුම්පතක් සමග හිමිකම, නියමිත ගාස්තුව සහ නව නිපැයුම පැහැදිලිව විස්තර කරන ලද ලේඛනයක් අමුණා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට ඉදිරිපත් කළ යුතු ය.

අනතුරුව අන්තර්ජාතික සෝදිසි අධිකාරියක් විසින් පිළියෙල කල සෝදිසි වාර්තාවක් ඉදිරිපත් කිරීම හෝ විකල්පයක් වශයෙන් අයදුම්පත්‍ර සෝදිසි වාර්තාවන් සඳහා දේශීය පරීක්ෂකවරයෙකු වෙත යොමු කරන ලෙස එම කාර්යාලයෙන් ඉල්ලුම් කිරීමට අයදුම්කරුට හැකි ය. පසුව ඉදිරිපත් කළ අයදුම්පත බුද්ධිමය දේපළ පනතේ අවශ්‍යතා සපුරන්නේ දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව සෝදිසි වාර්තාව පරීක්ෂා කර නව නිපැයුම ප්‍රකාශයට පත් කර පේටන්ට් බලපත්‍රය පිරි නැමේ.

විදේශයන් හීදී ඔබේ නව නිපැයුම ආරක්ෂිත ද?

පේටන්ට් බලපත්‍ර වලංගු වන්නේ එය පිරිනමන රටේ දී පමණි. කාර්මික දේපළ ආරක්ෂා කිරීම සඳහා වන පැරිස් සම්මුතියේ ශ්‍රී ලංකාව සාමාජිකයෙකු වම බැවින්, අදාළ රටේ ජාතික නීතිය යටතේ, පැරිස් සම්මුතියේ ඕනෑම සාමාජික රටකදී තම නව නිපැයුම් සඳහා ශ්‍රී ලාංකිකයන්ට පේටන්ට් බලපත්‍ර ලබා ගත හැක. ජිනීවා හි පිහිටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරනු ලබන පේටන්ට් සහයෝගිතා ගිවිසුම (PCT) යටතේ අයදුම් කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැකි ය. ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට තනි අයදුම්පත්‍රයක් ගොනු කිරීම මගින් ඔබට රටවල් ගණනාවක (පේටන්ට් සහයෝගිතා ගිවිසුමේ සාමාජික රටවල) පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම් කළ හැකි ය.

තම නව නිෂ්පාදන වෙනුවෙන් අයිතිය සුරක්ෂිත කිරීම තුළින් එහි මනා භාවිතය තහවුරු වන අතරම ඔබේ බුද්ධිමය දේපොළ මංකොල්ලකෑම් වැනි ක්‍රියා වලට එදිරිව ඔබට නෛතික ක්‍රියා මාර්ග සඳහා ද යොමු විය හැකි ය. මෙතෙක් ප්‍රකාශයට පත් කළ නව නිෂ්පාදන ලැයිස්තුව අධ්‍යයනය මගින් ඔබේ නිෂ්පාදනය නව නිෂ්පාදනයක් ද යන්න තහවුරු කර ගත හැකි ය. මෙරට පේටන්ට් බලපත්‍ර ලබා දීම ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සිදු කරන අතර වැඩිදුර තොරතුරු ලබා ගැනීමට එම ආයතනය සම්බන්ධ කරගත හැකි ය.

සැකසුම : දිනිති සෞභාග්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *