වර්ග සැතපුම් මිලියන 6.9 ක් භූමි ප්‍රදේශයක් ආවරණය කරන දකුණු ඇමෙරිකානු මහද්වීපයේ හිමෙන් වැසී ගිය සීතල ග්ලැසියර, සොඳුරු දිය ඇලි, රූස්ස ගසින් සැදි ඝන වනාන්තරයන් හි සිට උණුසුම් කාන්තාර කරා දිවෙන නානාප්‍රකාර භූ දර්ශන සැඟ වී පවතින බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.මේ දකුණු ඇමෙරිකාවේ සංචාරය කරන්නෙක් මග නොහැරිය යුතු ස්වභාවික පුදුමයන් කිහිපයක් පිළිබඳවයි.
1. ගිනිකඳු මාවත (ඉක්වදෝරය)

කීටෝ අගනුවර ඔස්සේ දක්ෂිණ දෙසට සැතපුම් 200 ක දුරක් ආවරණය කරන ‘ගිනිකඳු මාවත’ සතුව අඩි 17,000 ක වඩා උසින් වැඩි කඳු මුදුන් 7 ක් පවතිනවා. ඒ අතරින් අඩි 20,565 ක් උස චිම්බරාසෝ කඳුවැටිය, ගිනිකඳු මාවත සතු උසින් වැඩි ම කඳු වැටිය ලෙස යි සැලකෙන්නේ. මෙය ‘ගිනිකඳු මාවත’ ලෙස නම් කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1802 දී ඉක්වදෝරයේ සංචාරය කළ ජර්මානු ගවේෂකයෙකු වූ ඇලෙක්සැන්ඩර් වොන් හොම්බොල්ට් විසින්.
2. ඒන්ජල් දිය ඇල්ල (වෙනිසියුලාව)

ගිනිකොන දිග වෙනිසියුලාවේ හුදෙකලා කොනක වලාකුළු අතර සැඟ වී ඇති ආයුන්-ටෙපුයි කඳු මුදුනෙන් චරුන් ගංගාව අඩි 3,212 ක් (මීටර් 979) පහළින් පිහිටා ඇති යක්ෂයාගේ කුරුබිලියට (Devil’s Canyon) කඩා හැලෙන්නේ ලොව උසින් වැඩි ම දිය ඇල්ල නිර්මාණය කරමින්. ලෝ වැසියන්ට රහසක් ව පැවති ඒන්ජල් දිය ඇල්ල මුල් වරට සොයා ගන්නා ලද්දේ 1933 වර්ෂයේ දී ඇමෙරිකානු ජාතික රන් ආකාර සොයා යන්නෙකු වූ ජේම්ස් ඒන්ජල් විසින්. ඒ ඔහු ගමන් ගත් පෞද්ගලික ගුවන් යානය අනතුරකට ලක් ව අසල පිහිටි කඳුවැටියකට කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස යි.1994 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය විසින් ඒන්ජල් දිය ඇල්ල ඇතුළු සමස්ත කැනරීමා ජාතික උයන ම ලෝක උරුමයක් ලෙස නම් කළා. සංචාරකයන් අතර තවමත් ජනප්‍රිය ව ඇත්තේ ‘ඒන්ජල් දිය ඇල්ල’ යන නාමයෙන් වුවත් 2009 වර්ෂයේ දී එය එහි ස්වදේශික නාමය වන ‘Kerepakupai Merú’ (මෙහි අරුත “ගැඹුරු ම ස්ථානයේ පිහිටි දිය ඇල්ල” යන්න යි) යන නමින් හැඳින්විය යුතු බවට වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
3. ග්‍රේ ග්ලැසියරය (චිලී)

කිලෝමීටර් 28 ක් පුරා විහිදී ගොස් ඇති ස්වභාවික අයිස් නිර්මාණයක් වන ග්‍රේ ග්ලැසියරය පිහිටා ඇත්තේ ‘ටොරේස් ඩෙල් පයින්’ ජාතික උද්‍යානයේ දක්ෂිණ පැටගෝනියා අයිස් ක්ෂේත්‍රයේ යි. වර්ග කිලෝමීටර් 270 ක බිම්කඩක් ආවරණය කරන එය පැටගෝනියානු ඇන්ඩීස් කඳුවැටියෙන් ඇරඹී ග්‍රේ විල දක්වා ඇදී යනවා. කඳු නැගීමට, ඡායාරූපකරණයට සහ ශාක/සත්ත්ව විශේෂ අධ්‍යයනය සඳහා කැමැත්තක් දක්වන අයට ග්‍රේ ග්ලැසියරය කදිම ස්ථානයක්.වසර පුරා සීතල කාලගුණයක් පවතින ග්‍රේ ග්ලැසියරය ආශ්‍රිත ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 9°C – 3°C අතර අගයක් ගන්නවා. හේමන්ත සහ සිසිර ඍතුවල දී ඉහළ වර්ෂාපතනයක් වාර්තා වන බැවින් ග්‍රේ ග්ලැසියරය නැරඹීමට වඩාත් සුදුසු වන්නේ ජනවාරි සිට අප්‍රේල් හෝ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වන කාල සීමාව යි.
4. ලෝහිත වෙරළ (පේරු)

පැරකස් ස්වභාවික රක්ෂිතය සතු අර්ධ නිවර්තන කාන්තාරය, පේරු රාජ්‍යයේ සීතල දකුණු දිග වෙරළ තීරය හා ගැටී දක්ෂණ ශාන්තිකර සාගරය හමු වන්නේ ලෝහිත වෙරළේ දී යි. වෙරළේ දී දැක ගත හැකි අඳුරු රතු පැහැ වැල්ල, දහස් ගණනක් වූ මුහුදු රළ අසල පිහිටි පුන්ටා සැන්ටා මරියා කඳුවැටියේ වැදී එහි රෝස පැහැ ග්‍රැනයිට් පාෂාණ කුඩා වැලි කැට බවට පත් කිරීම හේතුවෙන් ඇති වන්නට ඇති බවට යි සැලකෙන්නේ.පාෂාණ අධ්‍යයනය සඳහා කදිම ස්ථානයක් වන ලෝහිත වෙරළ පක්ෂීන් නිරීක්ෂණය කරන්නන්ට ද අපූරු ස්ථානයක්. එසේ ම පැරකස් ස්වභාවික රක්ෂිතය සතු ව අදාළ ප්‍රදේශයේ ජෛව විවිධත්වය, පරිසර පද්ධතිය සහ ශාක/සත්ත්ව විශේෂ පිළිබඳ ව තොරතුරු සපයන තොරතුරු මධ්‍යස්ථානයක් ද පවතිනවා.
5. ඊස්ලා දෙල් සොල් (බොලිවියාව)

බොලිවියාව සතු සොඳුරු දූපතක් වන ‘ඊස්ලා දෙල් සොල් දිවයින’ වර්ග සැතපුම් 70 ක පමණ බිම්කඩක් පුරා විහිදී තිබෙනවා. දකුණු දෙසින් වසර මිලියන තුනක් පමණ පැරණි ටිටිකාකා විලෙන් මායිම් වී ඇති එහි වාහන භාවිතයක් නොමැති නිසා සංචාරකයන්ට දූපතේ සුන්දරත්වය විඳිය හැක්කේ ගල් සහිත අඩිපාරවල් ඔස්සේ පිය මැනීමෙන් හෝ ඔරුවක් ආධාරයෙන් පමණ යි.ගොවිතැනෙන් සහ ධීවර කර්මාන්තයෙන් දිවි සරු කර ගන්නා ස්වදේශිකයන් වාසය කරන ‘ඊස්ලා දෙල් සොල් දිවයින’ හිරු දෙවියන්ගේ උපන් බිම බව යි ජනශ්‍රැතියේ සඳහන් වන්නේ.
6. බ්‍රවුන්ස්බර්ග් ස්වභාවික රක්ෂිතය (සුරිනාම්)

සුරිනාම් රාජ්‍යයේ උතුරු දෙසට වන්නට පිහිටා ඇති බ්‍රවුන්ස්බර්ග් ස්වභාවික රක්ෂිතය, ශාක විශේෂ 1,500 කට වැඩි ප්‍රමාණයකට සෙවණ සපයන හරිත පැහැ බෑවුම් ගහන ඉහළ සානුවක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. 1964 දී නිර්මාණය කරන ලද ස්වභාවික රක්ෂිතයක් වන එය පිහිටා ඇත්තේ වර්ග කිලෝමීටර් 1,550 ක් පමණ ආවරණය කරන බ්‍රොකෝපොන්ඩෝ ජලාශයට මුහුණලා යි. රක්ෂිතය නම් කර ඇත්තේ 19 වැනි සියවසේ දී රන් ඉල්ලම් සොයා පැමිණි ගමනේ දී අදාළ ප්‍රදේශය හෙළිදරව් කර ගත් ජෝන් බ්‍රවුන්ගේ නාමයෙන්…