අපේ සමාජයේ කෙනෙකු හමු වූ විට ගෙවල්කොහේද? වැඩ කරන්නේ කොහේද? නැවතිලා ඉන්නේ කොහේද? යැයි අසා ඒ ඔස්සේ දැන ඇඳුනුම් කම් වැඩිදියුණු කරගැනිම සාමාන්‍ය සිරිතකි. ඒ මතින් ඒ ගෙවල් ආසන්නයේ හේ වැඩකරන තැන හෝ නැවති සිටින ස්ථාන අසබඩ දැන ඇඳුනුම්කමක් ඔස්සේ දුවගොස් සබඳතාවයක් සොයාගැනීම අපේ ජනයාගේ පෙර සිට පැවත එන සිරිතකි.
එහෙත් වර්ථමානයේ ගූගල් මැප්ස් පැමිණීමත් සමග කොහේද කියා ඇසූ විට මෙතැන යැයි කෙලින්ම තැන පෙන්වන්නට හැකියාව අපිට ලැබී තිබේ. අසන තැනැත්තා සතුව ස්මාට්ෆෝනයක් තිබේ නම් එම ස්ථානය ඔහුවෙත හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
ඒ අනුව අසුවල් ගමේ, අසුවල් කොලනියේ, අසුවල් පාරේ ගියතැන හමුවන ගස ගාවින් හැරීගොස් හමුවන 12වැනි යට හමුවන උළුසෙවිලි කළ ගෙදර ගාවින් හැරී ගොස් හමුවන 5 වැනි ගෙය වැනි දීර්ඝතර දත්ත ප්‍රමාණයක් අපිට මතක තබාගන්නට උවමනා වන්නේ නෑ. අපි දැන් ගූගල් මැප්ස් වලින් වෙනස් වුණු දේවල් කිහිපයක් ගැන සොයා බලමු.
1. භාවිතයෙන් ඉවත්වෙන ගයිඩ් පොත

මීට කලකට පෙර ලංකාවට පැමිණි සුදු ජාතික සංචාරකයින් සතුව බොහෝවිට ගයිඩ් පොතක් විය. ඒ තුල යන එන තැන් නරඹන තැන් ආදිය ගැන සැලකිය යුතු විස්තරයක් ඇතුලත් විය. අද වනවිට ට්‍රිප් ඇඩ්වයිසර් ලොන්ලි ප්ලැනට් ආදී සේවාවන්ද ගූගල් මැප්ස් සේවාව භාවිතා කරයි. ඒ ඔස්සේ ගයිඩ් විස්තරය කියවන හෝ නරඹන ගමන්ම ඒ අදාල ස්ථාන ළගපාත වෙයිද ඒ වෙත ලගාවන්නේ කෙසේද යන්න ගූගල් මැප් ආශ්‍රෙයන් බලාගත හැකිය.
උදාහරණ ලෙස ලංකාවට පැමිණෙන සංචාරකයෙක්ට සීගිරියට යෑමට අවශ්‍ය නම් කටුනායක සිට එන මග ඔහුට ගූගල් මැප් ආශ්රයෙන් බලාගත හැකිය. මගපෙන්වන්නා හෝ ටැක්සි රියදුරා සංචාරකයා වටේ රැගෙන යන්නට සැරසුනොත් පහසුවෙන්ම සංචාරකයාට ඒ බලාගන්නටද හැකියාව ගූගල් මැප්ස් හරහා ලැබේ.
2. අතරමං නොවන මග පෙන්වීම

ඔබට හදිසියේම වාසනාවක් උදා වී ඔබට හෙට දිනයේ පිටත්වීමට සිංගප්පුරුවට ගුවන් ටිකට් පතක් සහ කාර්යාලීය නිවාඩු ඔබට හමුවී යැයි සිතන්න. එහි ගියතැන් පටන් ඔබ ඒ බස කිසිත් නොදැන වුවට ගුගල් මැප්ස් සහ දත්ත සබඳතාවයක් ඔබට තිබේ නම් බොහෝ දේ ඔබට සොයාගත හැකිය.
ආසන්නතම රෙස්ටොරන්ට්, ටී හවුස්, නවාතැන්, හෝටල, මසාජ් පාලර්, සාප්පු සංකීර්ණ. දුම්රියපොල, බස් නැවතුම්පොල, ආදී සෑම සියළු දෙයක්ම සහ ඒ වෙත ළඟාවෙන මාර්ග ඔබට පහසුවෙන්ම ගූගල් මැප්ස් හරහා සොයාගත හැකිය. දත්ත පහසුවද ගූගල් මැප්ස්ද තිබේනම් ගූගල් මැප්ස් තිබෙන රටකදී අතරමං විම ලෙහෙසි නැත.
3. පරිසර ආරක්ෂණය සහ රැකගැනීම

ගූගල් ස්ට්‍රීට් වීව් හරහා රටතොට නිරීක්ෂනය කරන අයද වෙති. ඒ හරහා යුරෝපයේ ඇමරිකාවේ කිසිදා නොගිය මග තොට විස්තර එසැනින් පරිගණකය ඉදිරිපිට සිට දැකබලාගත හැකිය. පරිසර ආරක්ෂණය ගැන කියන විට අප රටේ විල්පත්තුව ගැන නොකියාම බැරිය. විල්පත්තු වේ කොපමණ විනාශයක් සිදු වීදැයි ඉදිරිපත් කිරීමට තවමත් බොහෝ දෙනා ගූගල් මැප් හි ආකාශ ගත දර්ශන භාවිතා කරති. ඒ අනුව එක් එක් කාලසිමාවේදී කොතරම් ප්‍රමාණයක් මාර්ගයෙන් ඉවතට වනය එලිපෙහෙලි වී ඇතිදැයි බලාගත හැකිය.
මෙය තවදුරටටත් උපයෝගි කරගන්නේ නම් අප රටේ ළඟාවීමට අපහසු කදුකර සිමා මායිම් මාර්ග නොමැති ස්ථානවල මායිම් ආදී වන රක්ෂිත ආදියේ නිසි මායිම් සලකුණු කිරිමටද යොදාගත හැක. එසේම යම් යාවත්කාලින විම් හරහා ඒ වනෝද්‍යාන මායිම් වලට තර්ජන එල්ල වේද යන්නත් පරිගණක තිරයේ සිටම නිරීක්ෂණය කිරීමට ගූගල් මැප්ස් හරහා හැකිය.
4. මාර්ග තදබදය පෙන්වීමේ වාසි

කඩවත සිට දිවා කාලයේ වේලාවක පානදුරට යෑම තිබේ යැයි සිතන්න. මෙහිදි පහසුම මග නම් කඩවතින් අධිවේගි මාර්ගයට ඇතුළු කොට එයින් පානදුර පිවිසුමෙන් එලියට යෑමය. එයට වැඩිම වුවොත් පැය බාගයක් ගත විය හැකිය. එහෙත් එ වෙනුවට සාමාන්‍ය නුවර පාර සහ ගාලු පාර තෝරාගතහොත්? කාර්යාලයීය දවසක නම් පැය දෙකකට අඩු කාලයකදී පානදුරට ළඟාවිම සිහිනයකි. ගූගල් මැප්ස් භාවිතා කරන්නේ නම් යා හැකි අඩුම ට්‍රැෆික් ඇති පාර පෙන්විම එහි ඇති අනර්ඝ ප්රයෝජනයකි.
ලංකාවේදී ඇතැම් මාර්ග ගැන දත්ත යාවත්කාලින නොවිම නිසා යම් යම් දොස් කලාතුරකින් පෙන්වුවද මෙම ට්‍රැෆික් වේලාවේදී ඒ අදාල මාර්ග ලකුණු කොට පෙන්වීම නම් තිතටම වගේ ගූගල් මැප්ස් වලදි සිදුකරනු ලැබේ. නුවර පාර දිගේ ප්‍රකට පක්ෂයක උද්ඝෝෂණයක් පැමිණි කාලසිමාවකදී ඒ උද්ඝෝෂනය හේතුවෙන් ඇතිවන වාහන තදබදය ඒ අවස්ථාවේදීම දක්වන්නට ගූගල් මැප්ස් සමත් විය. ගමනාගමනයට ඒ මගතෝරාගන්නා වාහන රියදුරන්ට සේම සාමාන්‍ය වැසියනටද ඒ විස්තරය වැදගත් වුණි.
5. තවත් ඇප්ස් වල භාවිතාවන්

uber, whtsapp , එයා බි එන් බී, ආදී විවිධාකාර ඇප්ස් සදහා ගූගල් මැප්ස් භාවිතා කරති. එසේ ගූගල් මැප්ස් හරහා විවිධ සේවාවන් ලබාගන්නා පිරිස මිලියනයකට වැඩි බැව් 2015දී ගූගල් වාර්තා වල දැක්වේ. ලංකාවේද බැංකු , සුපිරි වෙළදසැල් සාප්පු ආදිය සිය ශාඛා පිහිටි ස්ථාන ගූගල් මැප්ස් ආශ්රයෙන් සලකුණු කොට දක්වා එම වෙබ් අඩවි වල ඉදිරිපත් කොට තිබේ. එසේම සංචාරක ස්ථාන හෝටල ආදිය මෙන්ම ඒ සේවාවන් සලසන ඔන්ලයින් ඇප්ස් වලද ගූගල් මැප් භාවිතා කරති.
විවධ කාර්යයන් පිණිස සද්භාවයෙන් භාවිතා කිරීම පිණිස විවිධ ඇතුලුවීම් ගූගල් සමාගම විසින් අදාල පාර්ශවයන්ට ලබාදෙනු ලැබේ. ගූගල් මැප්ස් යනු නූතනය අතීතයෙන් වෙනස් කළ එක්තරා පැතිකඩක කතාවකි. ගූගල් මැප්ස් මගින් නූතන ස්මාට්ෆෝන් සහ සයිබර් භාවිතා කරන ඩිජිටල් මානවයා 20 වන සියවසේ සිටි කාර්මික සහ ඉලෙක්ට්‍රොනික මානවයාගෙන් පැහැදිලිවම වෙන්කරනු ලැබේ. එහි භාවිතාවන් ගැන සරල වැටහීමක් මේ හරහා ඔබට ලැබෙන්නට ඇතැයි අපි විශ්වාස කරමු.