ශ්‍රී ලංකාව ලොව පුරා සිටින සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වුණු දිවයිනක්.ඉන්දියානු සාගරයේ මුතු ඇටය කියලා විරුදාවලියකින් හඳුන්වපු ශ්‍රී ලංකාවේ ඒ තිබුණු අතීත සුන්දරත්වය දැන් නැහැ කියලා ගොඩක් දෙනෙක් කියනවනේ. ඒකේ ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි තවමත් ශ්‍රී ලංකාව කියන්නේ සංචාරකයින් අතර සුන්දර රටක් විදියට ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙන දේශයක් වගේම, ජීවිතේ එක වරක් හෝ ගිහින් බලන්නට වටිනා සුන්දරතම ස්ථානයන් කොතෙකුත් මේ පුංචි දිවයින ඇතුළේ තියෙනවා.
ඒ අතර ලංකාව වටා තිබෙන රමණීය මුහුදු තීරය නිසා දෙස් විදෙස් සංචාරකයන් මෙහි පැමිණීමට වඩාත් ප්‍රියතාවයක් දක්වනවා. එම වෙරළ තීරයන්ට දිනකට විශාල සංචාරකයන් ප්‍රමාණයක් ඇදී එන නිසා ඒවාට ලැබී තිබෙන්නේ ඉහළම ප්‍රසිද්ධියක්. අපි කවුරුත් ආසයිනේ මුහුදට. ඉතින් මේ සුදානම ලංකාවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කල සුන්දර වෙරළ තීරයන් ටිකක් ගැන කතා කරන්න.
1. හික්කඩුව වෙරළ තීරය

ඇත්තටම හික්කඩුව තමයි දකුණු මුහුදු තීරයේ එදත් අදත් ජනප්‍රියතම මුහුදු වෙරළ. ඒ විතරක් නෙවෙයි, හෝටල් සහ නයිට් ක්ලබ් එහෙමත් අඩු නැතුවම හික්කඩුව මුහුදු තීරයේ තියෙනවා. ඒ වගේම සීසන් එකේදී විදේශික සංචාරකයන්ගෙන් අතුරු සිදුරු නැතුව පිරෙන වෙරළ තීරයක් තමයි හික්කඩුව කියන්නේ. රෑට බීච් පාටීස් වුනත් අඩුවක් නැතුව දැකගන්න පුලුවන්. ඇත්තටම හික්කඩුවෙ සුන්දරත්වය මැවෙන්නේ මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි.
2. උණවටුන වෙරළ තීරය

දකුණු මුහුදු තීරය තුළ පිහිටා තිබෙන උණවටුන වෙරළ තීරය ලංකාවේ දී හමුවන සුන්දරම වෙරළ තීරයක්. වරෙක ඩිස්කවරි නාලිකාව විසින් උණවටුන ලොව හොඳම නිවර්තන වෙරළ තීරය ලෙසින් නම් කරනු ලැබුවා. එම නිසා උණවටුන වෙරළ තීරයට දෙස් විදෙස් සංචාරකයන් නිතරම පැමිණෙනවා. ඔබ කොළඹ සිට උණවටුනට පැමිණෙන සංචාරකයෙක් නම් මුලින්ම ගාල්ල නගරය දක්වා පැමිණිය යුතු යි. ඉන් පසුව ගාල්ල නගරයේ සිට මාතර දෙසට කිලෝමීටර් 6.7ක් පමණ ගමන් කළ විට සුන්දර උණවටුණ වෙරළ තීරය හමුවනවා.
ඔබ කොළඹ සිට අධිවේගි මාර්ගය ඔස්සේ පැමිණෙන සංචාරකයෙක් නම් පින්නදූව හුවමාරුවෙන් පිටවී ගාල්ල දෙසට පැමිණෙන විට හමුවන බොනවිස්ටා වෙරළ අසලින් වම්පැත්තට හැරී මාතර දෙසට කිලෝමීටර් 2.7ක් පමණ ගමන් කළ විට උණවටුන වෙරළ තීරයට ළඟා විය හැකියි. විශාල ලෙස පැතිරී ගිය වෙරළ තීරයක් වන උණවටුන වෙරළ තීරයට ආසන්නව කොරල් පර පිහිටා තිබෙනවා.
එසේම විශාල මුහුදු ප්‍රදේශයක් හරහා එන දිය රැළි උණවටුනට එන සංචාරකයන් කුල්මත් කරනවා. උණවටුනට නිරන්තරයෙන්ම සංචාරකයන් පැමිණෙන නිසා වෙරළට ආසන්නව හෝටල් සහ ආපනශාලා රැසක් ඉදිකර තිබෙනවා. එම නිසාම විවේකී දිනයක උණවටුනට පැමිණෙන ඔබට කොරල්පර නරඹා මුහුදේ නෑමෙන් පසුව අවන්හලකින් ආහාර පාන ගෙන හොඳින් විනෝද වී ආපසු යා හැකියි.
3. කොග්ගල වෙරළ තීරය

ගාල්ල මාතර පාර දිගේ යනකොට මුණගැහෙන විශාල නගර අතර, කොග්ගල කියන්නේ බොහොම හුදෙකලාව පිහිටලා තියෙනවා වගේ දැනෙන, පැරණි පන්නයේ පුංචි ටවුමක්. සමහර වෙලාවට මුළු කොග්ගල වෙරළ තීරයටම ඉන්නේ තමන් විතරයි වගේ හුදෙකලා හැඟීමක් කොග්ගල යන සංචාරකයෙක්ට දැනෙන්න පුලුවන්. ඒත් ඒ හුදෙකලා හැඟීමත්, සුන්දර කොග්ගල වෙරළත් දාලා එන්න කෙනෙක්ට හිතෙන්නේ නැති තරම්.
4. මිරිස්ස වෙරළ තීරය

මිරිස්ස කියන්නේ ජනාකීර්ණ පරිසරයක තියෙන වෙරළ තීරයකට වඩා, ලඳු කැලෑ සහිත, ස්වභාවධර්මයාට වඩාත් කිට්‍ටු පරිසරයක් එක්ක තියෙන වෙරළ තීරයක් වීම සෑහෙන්න සංචාරක ආකර්ෂණයකට හේතු වෙනවා. ඒ වගේම නිදහසේ නාන්න සහ පිහිනන්න මිරිස්ස මුහුදු තීරයේ ස්වභාවිකවම සෑදුණු ආරක්ෂිත ස්ථාන සෑහෙන්න තියෙනවා. ඒක විශේෂත්වයක්. ඊට අමතරව කිමිදෙන්නවුන්ටත්, ආධුනික රළ මත ලිස්සා යන්නවුන්ටත් ගැටළුවක් නැති මිරිස්ස මුහුදු තීරයේ විවිධ ජල ක්‍රීඩා වලට තැන් එහෙමත් තියෙනවා. ඒ වගේම තල්මසුන් සහ ඩොල්‍ෆිනුන් බලන්නත් මිරිස්ස බොහොම ප්‍රසිද්ධයි.
5. වැලිගම වෙරළ තීරය

මේ තියෙන්නේ දකුණු වෙරළ තීරයේ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට නැතිනම් සර්ෆින් වලට නම් දරාපු මුහුදු තීරය. විශේෂයෙන්ම ආධුනික රළ මත ලිස්සා යන්නවුන්ට වැලිගම මුහුදු තීරය කදිමයි. ඒ ආපදාවන් ඉතාමත්ම අඩු නිසා. ඒ විතරක් නෙවෙයි, හැන්දෑවක සිරි විඳින්න, අර කණු වල නැගලා මුහුද මැද මාළු අල්ලනවා බලාගෙන විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්නත් වැලිගම වෙරළ තීරය කදිමයි. පීනන්න සහ නාන්න ආරක්ෂිත තැනුත් මේ වෙරළ තීරයේ තියෙනවා.
6. පාසිකුඩා වෙරළ තීරය

මුහුදේ සිට කිලෝමීටරයක් පමණ දුරක් දක්වා විහිදී යන ස්වාභාවික දිය තටාකයක් පාසිකුඩා වෙරළේ දක්නට ලැබෙනවා. සොබාදහමෙන් ලැබී තිබෙන එම අපූරු තිළිණය නිසාම පාසිකුඩා වෙරළට ලොව පුරා සිටින සංචාරකයන් පැමිණෙනවා. එම ප්‍රදේශය තුළ මුහුදු රළ සෞම්‍යය ආකාරයට පැවතීම නිසා එහි පැමිණෙන සංචාරකයන්ට රිසි සේ මුහුදේ බැස විනෝද වන්නට හැකියාව ලැබී තිබෙනවා.
එසේම පාසිකුඩා වෙරළ තිරයේ අලංකාර කොරල් වැටියක් ද දක්නට ලැබෙනවා. එම සුන්දර කොරල් වැටිය මඟින් වෙරළ තිරයට අලංකාරයක් මෙන්ම ආරක්ෂාවක් ද ගෙන දෙනවා. පාසිකුඩා වෙරළේ සෞම්‍ය රළ සහිත තටාකයක් නිර්මාණය වී තිබෙන්නේත් එම කොරල් වැටිය මඟින් මුහුදු රළ බිඳින නිසා යි.
7. ආරුගම් බොක්ක වෙරළ තීරය

ආරුගම් බොක්ක මුහුදු තීරය ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ සර්ෆින් ක්‍රීඩාව යි. ලංකාවේ වගේම ලෝකයේ සර්ෆින්වලට ප්‍රසිද්ධම මුහුදු තීරයක් විදියටත් ආරුගම් බොක්ක මුහුදු තීරයට ප්‍රසිද්ධියක් හිමිව තිබෙනවා. ආරුගම් බොක්කේ සර්ෆින්වලට සුදුසුම කාලය වන්නේ මැයි සිට නොවැම්බර් දක්වා කාලය යි. තවද ලංකාවේ තිබෙන පිරිසිදුම වෙරළ තීරයන් ගෙන් එකක් වන මෙම වෙරළ තීරය සංචාරකයන් අතර වඩාත් ජනප්‍රිය යි.
ආරුගම් බොක්ක මුහුදු තීරය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් වුණු තවත් සිදුවීමක් 2004 වසරේ දී සිදු වුණා. ඒ ප්‍රථම ජාත්‍යන්තර රළ මත ලිස්සා යෑමේ තරගාවලිය මෙහි පැවැත්වීම මඟින්. ආරුගම් බොක්ක සංචාරක පාරාදීසයක් ලෙස වඩාත් ප්‍රචලිත වී තිබෙන නිසා මෙම ප්‍රදේශය ආශ්‍රිතව සුපිරි පැලැන්තියේ සංචාරක හෝටල් ද නිර්මාණය වී තිබෙනවා. ඔබ සංචාරයට ප්‍රිය කරන කෙනෙක් නම් ආරුගම් බොක්ක මුහුදු තීරයට ගොස් එහි ඇති අසිරිය නැරැඹීමට හැකියි.
8. මාබල් බීච් වෙරළ තීරය

නැගෙනහිර මුහුදු තීරය තුළ පිහිටා තිබෙන සුන්දර වෙරළ තීරයක් වන මාබල් බීච් කොඩ්ඩියාර් බොක්කට මුහුණලා පිහිටා තිබෙනවා. එම වෙරළ තීරයට දිවා කාලයේ දී හිරු එළිය වැටී කිරිගරුඬ මතුපිටක් මෙන් දිදුලන නිසාවෙන් කිරිගරුඬ වෙරළ යන නාමය ලැබී තිබෙනවා. එසේම මෙම වෙරළ අසල මුහුදු ප්‍රදේශය නොගැඹුරු නිසා ජල තටාකයක් සේ දිස්වනවා. එම නොගැඹුරු මුහුදු ප්‍රදේශයට හිරු රැස් පතිත වුණු විට මාබල් ඇල්ලූ පෙදෙසක් මෙන් දිස්වන නිසා මෙම වෙරළ තීරය මාබල් බීච් යන නමින් හඳුන්වනවා.
මාබල් බීච් වෙරළ තීරය රැක බලා ගනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින්. එම නිසා මාබල් බීච් වෙරළ තීරයේ සංචාරකයන්ට මුදල් ගෙවීමකින් තොරව ඇතුළුවිය හැකි පොදු වෙරළ කලාපයට අමතරව ගුවන් හමුදාව මගින් පාලනය කෙරෙන විශේෂ වෙරළ කලාපයක් තිබෙනවා. එම විශේෂ වෙරළ කලාපය තුළ පිහිටා තිබෙන නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන්නේ ගුවන් හමුදාව විසින්. ඔබට මාබල් බීච් ආශ්‍රිත නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් එම නිවාඩු නිකේතනයට පැමිණ එහි නවාතැන් ගෙන මනරම් වටපිටාවක විවේකී දිනයක් ගත කළ හැකියි.
9. නිලාවෙලි වෙරළ තීරය

කොළඹ සිට නිලාවෙලි වෙරළ තීරය දක්වා ගමන් කරන සංචාරකයෙකු මුලින්ම ත්‍රිකුණාමලය නගරයට යා යුතු යි. ඉන් පසුව ත්‍රිකුණාමල-පුල්මුඩේ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 15ක පමණ දුරක් ගමන් කළ පසු රමණීය නිලාවෙලි වෙරළ තීරය හමුවනවා. දැකුම්කළු මුහුදු තීරයක් ලෙස සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන නිලාවෙලි වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් සිටින විට මඳක් දුරින් පිහිටා තිබෙන පරෙවි දූපත දිස්වනවා.
ලංකාවේ ඇති විශිෂ්ටතම නොගැඹුරු දියේ කිමිදුම් කටයුතුවල නිරත විය හැකි ස්ථානයක් ලෙසින් පරෙවි දූපත අසල මුහුදු ප්‍රදේශය හඳුනාගෙන තිබෙනවා. එසේම ජල ක්‍රීඩා සඳහා ද යෝග්‍ය නිලාවෙලි මුහුදු තීරයේ දී මනාව සංරක්ෂණය වුණු ජීව පරයක් දැක ගැනීමට හැකි අතර එය වර්ණවත් නිවර්තන මසුන් රාශ්‍රියකට ද නවාතැන් සපයනවා.
10. මීගමුව වෙරළ තීරය

මීගමුව කියන්නේ අමුතුම සුන්දරත්වයක් තියෙන නගරයක්. බැලූ බැලූ අත ලොකු කුඩා බෝට්‍ටු සහ ට්‍රෝලර් වගේම කලපු, දිය මං, ඇල මාර්ග වගේ දහසකුත් එකක් දේවලින් පිරුණු මීගමුව නගරයේ උපරිම සුන්දරත්වය දැනෙන්නේ මුහුදු වෙරළට ගියහම. විශේෂයෙන්ම තමන් කැමතිම කෙනෙක් එක්ක ගිහින් ඇවිදින්න, එක තැනකට වෙලා විවේකීව වාඩි වෙලා ඉන්න වගේ දේවලට මීගමුව මුහුදු වෙරළ හොඳටම ගැලපෙනවා. ඕන නම් ගෙදර යන ගමන් ලෙල්ලම පැත්තේ ගිහින් මාලුවෙක් දෙන්නෙක් අරගෙන ආවත් කමක් නෑ.
විශේෂයෙන්ම මතක් කරන්න ඕනි දෙයක් තමා අපි මේ සුන්දර වෙරළ තීරවල ලස්සන බලලා විනෝද වෙන්න යනවනම් මේ පරිසරයට හානි කරන්නේ නැතිව ඒවායේ සුන්දරත්වය,පරිසරය රැකගන්න ඕනි.එහෙම උනොත් තමා අනික් යටත් සුන්දරත්වය විඳින්න පුළුවන්. ඒ වගේම අපි විනෝද වෙන්න යනවනම් හොද නවාතැනක් තෝරාගන්න ඕනි.ඉතින් අපේ පසුගිය වර පළකරපු නවාතැනක් තෝරාගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු සදහන් ලිපියත් අමතක නොකර කියවන්න. ඔයාට හොද විනෝද චාරිකාවක් අත්විඳින්න පුළුවන් වෙයි.