අගෝස්තු මාසය කියන්නේ අපේ රටේ ගොඩක්ම කතාබහට ලක්වන මාසයක්. ඒ සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්වන දළඳා වහන්සේ වෙනුවෙන් ශ්‍රී දළඳා මාළිගාව විසින් සෑම වසරකම පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යය නිසා. ලෝකයේ තියන විශිෂ්ඨතම කලා මංගල්‍යයක් තමා මේ ඇසළ පෙරහැර කියන්නේ. ඒ නිසාම දෙස් විදෙස් බැතිමතුන්ගෙන්, සංචාරකයන්ගෙන් පෙරහැර මාසයේ නුවර නගරය පිරි ඉතිරි යනවා. මොකද ඒ තරමටම එහි ඇති සුන්දරත්වය නිසාමයි. ඉතින් මේ පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් කරන්න දායකත්වයක් දක්වන විශේෂයෙන්ම කතාබහට ලක්වන අලි ඇතුන් ගැන කතාකරන්න තමා අද සුදානම. එත් ඇත්තටම පෙරහරේ ගමන් කරන හැම අලි ඇතෙක් ගැනම නෙවේ. සත්ව ආත්මයක් ලැබුවත් දළඳා කරඬුව වැඩමවන්න පිංවන්ත වූ හස්තියෝ කීපදෙනෙක් ගැනයි අද අපි ඔබට ගෙන එන්නේ.
1. රාජා

දළඳා කරඬුව වැඩම කරවපු ඇතුන් කිව්වම අපි කාටත් මුලින්ම මතක් වෙන්නෙ මේ රාජා හස්තියාව. ඒ තරමටම හැමෝම අතරේ මේ පින්වන්ත සත්වයා හරිම ප්‍රසිද්ධයි. මේ ඇතා මියගියත් අදටත් ඇතාගේ ස්වභාවික හම යොදාගෙන ප්‍රතිනිර්මාණය කෙරුණු ජීවමාන පිළිරුව දළදා මාලිගාවේ කෞතුකාගාරයක දකින්න පුළුවන්.
මේ රාජා පුංචි පැටියෙක් සමයේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ වනාන්තරයකින් තමයි අල්ලාගෙන තියෙන්නෙ. මේ පැටියව මිලදී ගත්ත මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවේ 1937 වසරේදී පූජා ඔප්පුවකින් ඇතාව දළදා මාළිගාවට පූජා කරනවා. එතැන් පටන් මාළිගාවේ ඇත් පන්තියේ හැදී වැඩෙන රාජා හස්තියා 1953 වසරේ තමයි මුලින්ම දළදා කරඬුව වැඩම කරවන්නේ. එතැන් පටන් වසර 37ක් පුරාවට මේ කරඬුව වැඩමවීමේ භාරදූර කර්තව්‍ය සිදුවෙන්නේ රාජා හස්තියා අතින්. 1986 දී එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ජාතික උරුමයක් ලෙස නම්කෙරුණු රාජා හස්තියා 1988 වර්ෂයේදී මියයනවා.
2. මිල්ලන්ගොඩ රාජා

මිල්ලන්ගොඩ රාජා කියල කියන්නෙ ලංකාවේ දිගම දළ ඇති හස්තියා විදිහට වාර්තා අතරට එක්වුණ හස්තියෙක්. 1945 වර්ෂයේදී පුත්තලමේ ආණමඩුව ප්‍රදේශයේ වනාන්තරයකින් සොයාගැනුණු මේ ඇත් පැටවා කෑගල්ලේ මොලගොඩ වාසය කල එම්. ආර්. ඒ. මිල්ලන්ගොඩ අප්පුහාමි මිලදී ගැනීමෙන් පසුව තමයි මිල්ලන්ගොඩ රාජා බවට පත්වෙන්නේ. දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේ භාග්‍ය වගේම වසර 40කට අධික කාලයක් දළදා පෙරහැරේ ගමන් කිරීමේ භාග්‍ය ලබපු මිල්ලන්ගොඩ රාජා හස්තියා මියයන්නේ 2011 වර්ෂයේදී.
3. හෙයියන්තුඩුවේ රාජා

හෙයියන්තුඩුවේ රාජා කියල කියන්නෙ රාජා හස්තියාගේ මරණෙන් පස්සෙ ඒ කියන්නෙ 1991 වසරේ ඉඳල 2002 වසර වෙනකන්ම දළඳා කරඬුව වඩම්මවන්න වාසනාවන්ත වුණ හස්තියා. මේ හෙයියන්තුඩුවේ රාජා හස්තියාත් දිගම දල ඇති හස්තියෙක් විදිහට වාර්තා වෙනවා. 1945 වර්ෂයේදී හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරයකින් අල්ලාගෙන බ්‍රිතාන්‍ය රජය විසින් කළ වෙන්දේසියකදී තමයි මේ හස්තියාව හෙයියන්තුඩුවේ විලියම් ගුණසේකර මහත්මයා මිලදී ගන්නෙ. මේ හස්තියා නළුවෙක් විදිහටත් ප්‍රසිද්ධයි. සුදා සුදා, රාම්ජගේ සහ ඉන්දියානා ජෝන්ස් කියන චිත්‍රපට වලට මේ සතාව සම්බන්ධ කරගෙන තියෙනවා. 2002 වර්ෂයේදී විලියම් මහතාගේ පුත් හෙන්රි ගුණසේකර මහතාගේ නිවසේ දී මියගිය මේ සත්වයාගේ ඇටසැකිල්ල ජපාන සමාගමකින් ඩොලර් 120,000ක වගේ ඉහළ මුදලකට ඉල්ලලා තියෙද්දිත් හෙන්රි මහත්මයා එය ලංකා රජයට පරිත්‍යාග කරනවා. මේ සැකිල්ල අදටත් ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ දකින්න පුළුවන්.
4. වෑවලදෙණියේ රාජා

වෑවලදෙණියේ රාජා ඇතා කියන්නෙත් 15 වතාවක් පමණ දළඳා කරඬුව වඩමවන්න වාසනාවන්ත වුණ හස්තියෙක්. මේ හස්තියා අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී තමයි අල්ලාගෙන තියෙන්නේ. 1974 වර්ෂයේදී ඇමති පී.බී.ජී. කලුගල්ල මහතා විසින් තමයි වෑවලදෙණිය පුරාණ විහාරාධිපති ශ්‍රී සෝරත නාහිමියන්ට පූජා කරලා තියෙන්නේ. ඊටත් පස්සෙ විහාරාධිපති හෙම්මාතගම සිද්ධාර්ථ හිමිගේ කාලයේදී මේ හස්තියා දළදා මාලිගාවේ ඇත් පන්තියට පූජා කරනවා. 2014 වර්ෂයේ මහනුවරදීම මේ හස්තියා අවසන් ගමන් යනවා.
5. සමන් රාජා / විජයදන්ත

මඩුගල්ලේ ඇතා ලෙසින් සුප්‍රසිද්ධ වූ මේ ඇතු පසුව හොරණ මිල්ලෑව රත්නසිරි වික්‍රමනායක මහතා සතුවිය. අනතුරුව හිමිකරු වුයේ රත්නපුර සේරසිංහ මහතාය.අවසන් හිමිකරු වුයේ රත්නපුර මහා සමන් දේවාලයේ හිටපු බස්නායක නිළමේ රත්නපුර මද්දුව වලව්වේ ඇන්ටන් තෙන්නකෝන් මහතාය.ශ්‍රී දළඳා කරඬුව වැඩම කරවීම සිදුකල මෙම විජේදන්ත ඇතා 1998 වසරේ මිය ගියේය.
6. බෙල්ලන්විල රාජා

මෙම හස්තිය වයස අවුරුදු 9 දී පමණ පොලොන්නරුව ප්‍රදේශයෙන් සත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලා දෙහිවල සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට භාරදී ඇත. එකල චන්ද්‍රු නමින් ප්‍රසිද්ධ වූ මේ ඇතා පසුව ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන ලදී.
සේදවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇතා හිමිකරගත් අතර පසු හිමිකරු වුයේ කිරිල්ලවල ආරච්චි මහතාය.ඔහුගේ පුත් වෑබොඩ වීරසිංහ මහතා විසින් අතු බෙල්ලන්විල රජමහා විහාරයට ලබා දී ඇති අතර එතැන් පටන් මේ ඇතු බෙල්ලන්විල රාජා නමින් ප්‍රසිද්ධ විය.
2000 වසරේ ශ්‍රී දළඳා මාළිගාවේ සදාතුක කරඬුව වැඩමවීම සිදුකොට එම වසරේම නොවැම්බර් මාසයේ රත්නපුර මහ සමන් දේවාල භූමියේදී මෙලොවින් සමුගත්තේය.
7. නැදුන්ගමුවේ රාජා

නැදුන්ගමුවේ රාජා කියන්නේ ඊළඟට අපි අතරේ හුඟක්ම ප්‍රසිද්ධ මේ වෙනකනුත් දළඳා කරඬුව වඩමවන කටයුත්තට උරදෙන හස්ති රාජයා. නැදුන්ගමුවේ රාජා හස්තියා මුලින්ම දළඳා පෙරහැර එක්ක සම්බන්ධ වෙන්නෙ 2005 වසරේදී. එදා ඉඳන් අද වෙනකන්ම සහභාගී වෙන හැම පෙරහැරකටම පා ගමනින්ම පැමිණීම මේ ඇතාගේ තවත් එක විශේෂත්වයක්.
නැදුන්ගමුවේ රාජා උපත ලබන්නේ ඉන්දියාවේ. ඒ 1953 වසරේදී පමණ. ඉන්දියාවේ මයිසූර් මහරජා විසින් දරුණු හිසරදයක් සුවකිරීම වෙනුවෙන් ප්‍රති උපකාර කිරීමක් විදිහට මේ නැදුන්ගමුවේ රාජා සහ ගංගාරාම විහාරයේ නවම් රාජා කියන ඇත් පැටවුන් දෙදෙනාව නීලම්මහර පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කළ වෙද හිමිනමකට තෑගි කරනවා. 1978 වසරේදී තමයි මේ ඇතා නැදුන්ගමුවේ ධර්මවිජය වෙද රාළහාමි මිලට ගන්නේ. එතැන් පටන් තමයි මේ හස්තියා නැදුන්ගමුවේ රාජා කියල නම් කෙරෙන්නේ.
8. ඉන්දි රාජා

ඉන්දි රාජා කියන්නෙත් ඉන්දියාවේ උපත ලබපු හස්තියෙක්. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා විසින් දළඳා මාළිගාවට පරිත්‍යාග කරපු මාළිගාවේ ඇත් පන්තියට අයිති හස්තියෙක්. ඉන්දියාවෙන් ආපු නිසාම ඉන්දි රාජා කියලා හඳුන්වන්නේ. මාළිගාවේ කරඬුව වඩම්මවන්න වාසනාවන්ත වුණ, ඒ වගේම අදටත් කරඬුව වඩමවන්න සුදුසුයි කියලා හඳුනාගත්ත ඇතුන් තුන්දෙනා අතරින් එක හස්තියෙක් තමයි මේ ඉන්දි රාජා.
9. කතරගම වාසනා

වාසනා කියන්නෙ රුහුණු කතරගම මහා දේවාලයේ හස්තියා. මේ ඇතාත් මාළිගාවේ කරඬුව ගෙනියන ඇතුන් අතරේ අදටත් ඉන්න හස්තියෙක්. මේ වාසනා හස්තියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලයක අතරමන්වෙලා ඉන්නකොට සොයාගත්ත ඇත් පැටවෙක්. පින්නවල අලි අනාථාගාරයට ගෙන ඒමෙන් පස්සේ විමලා කන්නන්ගර මැතිණිය විසින් තමයි මේ ඇත් පැටවා කතරගම මහා දේවාලයට පරිත්‍යාග කරල තියෙන්නෙ.
10. සිංහ රාජා

යුද සමයේ සටන් පැවති කලාපයක රංචුවෙන් මගහැරී අතරමංව සිටියදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් මුදා ගෙන පසුව ශ්‍රී දළදා මාළිගාවට පූජා කර තිබේ.මෙම හස්තියා මෙවර සධාතුක කරඩුව වැඩමකළ අතර වයස අවුරුදු 35ක් පමණ වේ. මෙම හස්තියා දැනට මහනුවර ඇත්ගාලේ සිටින ප්‍රධාන හස්තියෙකි.