ලොකු ගණන් දීලා කොහොමද හදන්නෙ කියලාවත් නොදන්න දේවල් තමන්ගෙ ශරීරෙට ආලේප කරනවට වඩා විශ්වාසීව තමන්ට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල්වලින් අපිට ලස්සන වෙන්න නිරෝගීව ඉන්න පුළුවන්නම් මොනතරම් වටිනවද..?
කෝපි කියන්නෙ ගොඩාක් අය බොන්න කැමති පානයක්. ඒ වගේ ම කොෆී වලින් අපේ ශරීරෙට කරන්න පුලුවන් සත්කාරත් ගොඩාක් තියෙනවා. ඉතිං ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කෝපිවලින් ඔයාගේ මුහුණට සහ ඇඟට කරන්න පුලුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාලට අද අපි කියලා දෙනවා. විශ්වාසෙන් කරලා බලන්න. අනිවාර්යෙන් ම ප්‍රතිඵල තියෙනවා..!
1. අඳුරු වූ මුහුණට සත්කාරයක් (Coffee Facial Treatment)

අපේ මුහුණෙ තියෙන මැරුණු සම ඉවත් කරලා ප්‍රබෝධමත් පැහැදිලි සමක් ලබා ගන්න කෝපිවලින් පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි කුඩු මේස හැන්දක්
- දෙහි ගෙඩි භාගයක යුෂ
- මී පැණි තේ හැන්දක්
මේ සියල්ලම එකතු කරලා තලපයක් විදිහට හදාගෙන මූණේ ආලේප කරලා විනාඩි තිහක් ඉන්න ඕන. තෙල් සහිත සමක් තියෙන අයට මේ සත්කාරයෙන් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන්.
2. නැවුම් බවක් ලබා දෙමින් මුළු ඇඟටම ස්ක්‍රබ් එකක් (Coffee Scrubs)
අපේ ඇඟේ මැරුණු සම හැමදාම එකතු වෙනවා. අපිට නොපෙනුනත් ඒ ක්‍රියාවලිය හැමදාම සිදු වෙනවා. ඉතිං මේ මැරුණු සම ඉවත් කරලා අපේ අලුත් සම මතු කරලා ගන්න කෝපිවලින් පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි කුඩු මේස හැන්දක්
- සීනි තේ හැඳි තුනක්
- ඔලිව් හෝ පිරිසිඳු පොල්තෙල් තේ හැඳි තුනක්

මේ ඔක්කොම භාජනේකට එකතු කරලා ක්‍රීම් එකක් වගේ හදාගන්න. ඊට පස්සේ මේ හදාගත්ත ක්‍රීම් එක ඔයාගේ ඇඟේ කවාකාරව පිරිමදින්න. විශේෂයෙන්ම දණිස්වල සහ වැලමිට වගේ අපේ ඇඟේ තියෙන රළු ස්ථානවලට වැඩි අවධානයක් දෙන්න.
3. දුර්වර්ණ තුනී හිසකෙස්වලට සත්කාරයක්

හැම ගැහැණු ළමයෙක්ම කැමති නිරෝගී කොණ්ඩයකට. කොණ්ඩය දිග වුණත් කොට වුණත් නිරෝගී කොණ්ඩයක් නම් ඒ කොණ්ඩෙ ගොඩාක් ලස්සනයි. ඉතිං මේ කොණ්ඩෙ විවිධ හේතු නිසා දුර්වර්ණ වෙන්න, ගැලවී යන්න පුලුවන්. ඒකට කෝපි වලින් ලේසි ප්‍රතිකාරයක් තියෙනවා.
කෝපි කෝප්පයක් බොන්න හදාගන්න විදිහට හදාගන්න. හැබැයි සීනි දාන්න එපා. ඒ හදාගත්ත කෝපි කෝප්පෙ හොඳට නිවෙන්නත් ඕන. හරි දැන් අපේ හිසකෙස් සත්කාරය ලෑස්තියි. ඔයාලා නාන වෙලාවට මේ කෝපි කෝප්පෙ භාජනේකට දාගෙන හොඳට කොණ්ඩෙ සෝදන්න. මේ සත්කාරෙන් කොණ්ඩෙ ගොඩක් ඝනකම් කරන්නත් කළු පාට කරන්නත් පුලුවන්.
4. වයසට ගිය රැළි වැටුණු සමට සත්කාරයක්
අපේ සම අපේ වයසත් එක්කම වයසට යනවා. සමේ විවිධ ගැටලු මතු වෙනවා. මේ ගැටලුවලට විසඳුමක් කෝපිවලින් ලබා ගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි කුඩු අවශ්‍ය ප්‍රමාණයට
- ලුණු කුඩු මේස හැන්දක්
- ඔලිව් තෙල් මේස හැන්දක්
මේ සියල්ලම එකතු කරලා මිශ්‍රණය හදාගෙන සමේ ආලේප කරලා හොඳින් පිරිමදිමින් මසාජ් කරන්න. මිශ්‍රණය ඝනකම් වැඩියි වගේ දැනෙනවා නම් වතුර ටිකක් එකතු කරගන්න පුලුවන්. විනාඩි 20ක් ඒ විදිහට කරලා ඉවර වෙලා සෝදා හරින්න.
5. ඇස් යට ඉදිමීමේ ගැටලුවට සත්කාරයක්

ඇස් යට ඉදිමීම නිසා අපේ සුන්දරත්වයට ලොකු ගැටලුවක් මතු වෙනවා. ඇස්වලින් අපේ සුන්දරත්වයට ලොකු වෙනසක් කරන්න පුලුවන්. ඉතිං අපේ මේ වටින ඇස් දෙක කෝපිවලින් තවත් සුන්දර කරගන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන මේ සත්කාරය කරනකොට ගොඩාක් පරිස්සමින් කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් කෝපි කුඩු තේ හැන්දක්
- පොල්තෙල් තේ හැන්දක්
- කළු ගම්මිරිස් ස්වල්පයක්
- වතුර ටිකක්
මේ සියල්ලම එකතු කරලා හදාගත්ත මිශ්‍රණය ඇස් යට පරිස්සමින් ආලේප කරන්න. විනාඩි 15ක් විතර ඇස් වහගෙන නිදහසේ ඉන්න. ආලේපනය වියළී ගියාට පසුව මද රස්නෙ වතුරින් පරිස්සමින් සහ කලබලයක් නැතුව සෝදා හරින්න.
6. වියළි හෝ ඉරිතැළුණු දෙතොල් සඳහා සත්කාරයක්

අපේ මුහුණේ සුන්දරත්වය නැති කරන තවත් අවස්ථාවක් තමයි වියළි ගිය ඉරිතැළුණු තොල්.මේ සඳහාත් කෝපිවලින් ප්‍රතිඵල සහිත සත්කාරයක් තියෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝපි කුඩු තේ හැන්දක්
- මී පැණි තේ හැන්දක්
මේ දෙකම මිශ්‍ර කරලා තොල්වල හොඳින් ආලේප කරන්න. තත්පර 30ක් සියුම්ව පිරිමදිමින් මසාජ් කරන්න. ඉන්පසුව තෙත් කපු පුළුන් කැබැල්ලකින් පිසදමන්න. දැන් වෙනස ඔබට බලාගන්න පුලුවන්.
මේ හදාගත්ත ආලේපන දෙකම කල්තබාගෙන ආලේප කරන්න අමාරුයි. ඒ නිසා භාවිත කරන වෙලාවටම අවශ්‍ය ප්‍රමාණෙ හදාගන්න.
කෝපි සත්කාරවල තියෙන වැදගත්ම දේ තමයි ප්‍රතිඵල බලන්න දවස් ගණන් ඉන්න ඕන නෑ.සත්කාරය කරලා ඉවර වුණ ගමන්ම ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුලුවන්.
රශ්මි මහේෂා ප්‍රනාන්දු