හදිස්සි කියන දේවල් එන්නෙ කියලා නෙමෙයි. එවෙලෙ කරන්න ඕන දේවල් අපි දන්නැත්නම් අපිට සිද්ධ වෙනවා පුළුවන් ඉක්මණට දන්නා කෙනෙක්ට කතා කරලා ඒ ගැන උපදෙස් ගන්න. ඔතන තමයි ගෙදරම පිස්සු වැටෙන තැන. අරහට මෙහාට කෝල් කර කර නම්බර් හොයන්න ගියාම කරන්න ඕන වැඩේ කරගන්න අන්තිමට වෙලාවක් නෑ. අපි බලමු හදිස්සියකදී ඔබ ළඟ තියෙන්න ඕන දුරකථන අංක කිහිපයක්.

1. මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ දුරකථන අංකය

මේ වසංගත කාලය තුල ඔබ අනිවාරයෙන්ම ළඟ තබා ගත යුතු දුරකථන අංකයක් තමයි මේ. ඔබ නිවසේ නිරෝධායනය වෙනවා නම්, ඔබේ නිවසේ අසාදිතයෙක් සිටිනවා නම්, ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැක සහිත නම් හෝ මේ වසංගත කාලය තුල තොරතුරක් දැනගන්න හරි තොරතුරක් ලබාදෙන්න හරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම ඉතා වැදගත්. ඉතින් අමතක නොකර අදම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දුරකථන අංකය ලග තබාගන්න.

2. ළඟම පොලිස් ස්ථානයේ දුරකතන අංකය

රිය අනතුරක් වෙලා තියෙනවා දැක්කනම්, ගෙදරට හොරෙක් පැනලනම්, කවුරු හරි කෙනෙක්ගෙන් තර්ජනයක් එල්ල වෙනවනම්, ඔබ දැනුම් දෙන්න ඕන මුල්ම තැන තමයි ඔබේ ළඟම තියෙන පොලිසියට.

119 ට හරි 118 ට හරි කෝල් කරලා කිවුවත් එයාලත් ඊට පස්සේ දන්වන්නෙ ඔබේ ළඟම තියෙන පොලිසියට නිසා හොඳම දේ තමයි කරදරයක් උනාම කෙලින්ම ලඟම තියෙන පොලිසියට කතා කරන එක. ඒ හින්දා ඔබට ළඟම පොලිස් ස්ථානයේ දුරකතන අංකය ළඟ තියාගන්න හැමවෙලේම.

3. සුව සැරිය ගිලන් රථ සේවය

අද වෙනකොට මේ සුව සැරිය ගිලන් සේවය ජනතාවට කරන සේවයේ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ . ඕනෑම අවස්ථාවක ගමනාගමනය අසීරු තැන්වල පවා මේ ගිලන් රථ ගමන් කරලා ඉතා ආරක්ෂිතව රෝගීන් රෝහලට ඇතුලත් කරලා පිහිට වෙනවා.

ඇත්තටම මේක සම්පුර්ණයෙන්ම ගාස්තු රහිත සේවයක්. ඉතින් රෝහලට යන්න තරම් අසනීපයක් උනොත් සුව සැරිය ගිලන් සේවයට කතා කරලා රෝහලට යන එක තමා හොදම දේ. ඒ නිසා අමතක නොකර ඒ අංකෙත් අදම ලියාගෙන තියාගන්න.

4. ඔබට සමීප වෛද්‍යවරයෙකුගේ අංකයක්

ඔබේ ගෙදර කාට හරි ඉක්මන් ප්‍රථමාධාර අවශ්‍ය රෝගී තත්වයක් හැදුණොත් ඒ දේට මේ නම්බර් එක ඕන වේවි ඔබට. මහා රෑ ළමයෙක්ට ලෙඩක් හැදුනම අම්මල, තාත්තල විඳින දුක අපි දන්නවනේ. ඒ හින්දා මේ වගේ නම්බර් එකක් තියාගත්තොත් රෝග ලක්ෂණ කියල ගෙදරදි කරන්න ඕන ප්‍රතිකාර ටික දැනගන්න ඔබට පුළුවන් වේවි.

5. ග්‍රාමසේවකගේ දුරකතන අංකය

ඡන්ද හිමි නාම ලේඛනය, විවිධ ආධාර බෙදාදීම්, ඒ වගේම හැඳුනුම්පත් ආදී සියලු රජයේ කටයුතු ගමේ සිද්ධ කරන්නේ ග්‍රාමසේවක නිලධාරී තුමා. ඉතින් මේ වගේ දේවල් ගැන හදිසි තොරතුරක් ගන්න ඔබට ඕන උනොත් මේ නම්බරේ ඔබ ළඟ තියෙනවනම් ලේසියිනේද..?

6. ප්‍රවාහන සේවා සම්බන්ධ අංක

අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් තමයි මේ. අපිට හදිසි අවස්ථාවක කොහේ හරි ගමනක් බිමනක් යන්න උනොත් කුලී රථයක දුරකථන අංකයක්, අපි ගමනක් බිමනක් යනකොට හුරු පුරුදු වෙලා තියන බස් රථයේ රියදුරු මහතාගේ හෝ කොන්දොස්තර මහතාගේ දුරකථන අංකයත් අපිට වැදගත්. මොකද ඒ බස් රථය අපිට අවශ්‍ය දවසට අදාළ මාර්ගයේ ක්‍රියාත්මක වෙනවද කියල දැනගත්තම අපිට රස්තියාදුවක් නොවීම අවශ්‍ය ගමන යන්න පුලුවන්.

7. නිතිඥයෙකුගේ දුරකථන අංකයක්

ඔබට හදිසි නීතිමය ගැටළුවක් පැණ නැගුනොත් ඔබට පුළුවන් ඔබේ සමීපතම නිතිඥයෙකුට කියලා ඒ ගැන උපදෙස් ගන්න. තමන්ටම කියල වෛද්‍යවරයෙකු වගේම තමන්ටම කියල නිතිඥයෙකුත් ඉන්න එක ඇත්තටම වටිනා දෙයක්.

8. පාසලේ දුරකථන අංකය

ඔබ ඉස්කෝලේ යන දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තත්තා කෙනෙක්නම් ඔබ ළඟ අනිවාර්යයෙන්ම මේ දුරකථන අංකය තියෙන්නම ඕන. පන්ති භාර ගුරුතුමියගේ හෝ ගුරුතුමාගේ දුරකථන අංකය තියෙනවනම් තව හොඳයි. පාසලේදී ළමයෙක් ලෙඩ උනාම, තමන්ගේ ළමයින්ගේ විනය ගැන, පාසලේ අලුතින් සිදුවන දේවල් ගැන දැනන් ඉන්න එක ඔබට උදවුවක් වේවි ඔබේ ළමයා හැසිරවීමේදී.

9. මෙන්න මේ දුරකථන අංකත් ඔබ ළඟ තියාගන්න

ජාතික තොරතුරු සේවය – 1919

පොලිස් හදිසි ඇමතුම් – 118 / 119

ගිනි නිවීම් සේවා – 110

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය – 071 0107107

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය – 011 3071073

ආපදා කළමනාකරණ හදිසි ඇමතුම් – 117


Leave a Reply

Your email address will not be published. Required fields are marked *