ඇස් කියන්නෙ අපිට තියෙන වටිනාම වස්තුවක්. අපි ගොඩක් වටිනාකම් දෙන දේකට ඇස් දෙක වගේ කියනවා. ඒ ඇස් දෙකත් මිල කළ නොහැකි නිසාමයි. ඉතිං අපේ මේ ඇස් දෙකට මුහුණේ සුන්දරත්වය වැඩි කරන්න වගේම අඩු කරන්නත් ලොකු හැකියාවක් තියෙනවා.

ඇස්වල සුන්දරත්වය නැතිවෙන්න උදව් කරන ක්‍රම ගොඩාක් තියෙනවා.අපි ඒ ගැන මුලින්ම කතා කරලා ඊටපස්සේ පහසුවෙන්ම කරන්න පුලුවන් ප්‍රතිකාර ගැනත් මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා.

1. පරිගණකය හෝ ස්මාර්ට් දුරකථන වැඩි වශයෙන් භාවිත කිරීම

ඇස්වල සුන්දරත්වය නැති වෙන්න පුලුවන් ක්‍රම අතරේ අද වනවිට වැඩි වශයෙන්ම බලපාන ක්‍රමයක් වන්නේ වැඩි වශයෙන් පරිගණක හෝ දුරකථනය සමඟ කාලය ගත කිරීමයි. ඉතිං මේ ක්‍රමයෙන් බැහැර වෙන්නත් වසංගත කාලයේ දී ටිකක් අපහසුයි. ඔන්ලයින් ජීවිතේකට හුරුවෙලා නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පරිගණකය හෝ දුරකථනය භාවිත කරන්න වෙනවා.

ඒත් මේ අවස්ථාව පාලනය කරගන්න පුලුවන්. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී දුරකථන භාවිතය ගොඩාක් කරන වරදක් වෙනවා. ඇස් දෙක පරිස්සම් කරගන්න ඕන නම් ඇස් යට රැළි වැටීම අවපැහැ වීම අඩු කරගන්න ඕන නම් ආයෙමත් මේ වරද නොකර ඉන්න. රාත්‍රී නින්දට යනවිට දුරකථනයත් ඇඳට අරන් යන්න එපා.

2. ප්‍රමාණවත් නින්දක් නොලැබීම

කාර්‍යබහුල ජීවිතයක් ගත කරනකොට නින්ද කියන්නෙ ලබාගන්න අමාරුම දෙයක්. ඒත් ප්‍රමාණවත් නින්දක් ලැබෙන්නෙ නෑ කියන්නේ ඔබේ ශරීරයට විශාල වශයෙන් බලපාන කරුණක් වෙනවා. ඒ වගේමයි ඇස් දෙකට වැඩි වශයෙන්ම බලපානවා. ඔබේ දෑස්වලට විවේකයක් ලබා දෙන්න ඕන නම් නිසිපරිදි සුව නින්දක් ලබා ගන්න අමතක කරන්න එපා.

3. මානසික පීඩනය

මානසික පීඩනයත් ඇස්වල සුවතාවයට විශාල වශයෙන් බලපාන කරුණක් වේ. ඔබ අධික ලෙස මානසික ගැටලුවලට මුහුණපාන කෙනෙක් නම් ඒ වගේම ගොඩාක් කල්පනා කරන දුක් වෙන කෙනෙක් නම් ඒක ඔබේ මුහුණෙන් හොඳට පිළිබිඹු වෙනවා.

එහෙම වෙන්නේ ඔබේ ඇස් දෙක නිසා. ඇස් යට රැළි වැටීම අවපැහැ වීම ඔබේ මානසික පීඩනය පිළිබඳව ලෝකයට දන්වනවා. ඒ නිසා හැකි තරම් ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න උත්සාහ කරන්න. තමන්ට ආදරේ කරන්න.

4. හිරු රශ්මියට නිරාවරණය වීම

වැඩි වශයෙන් හිරු රශ්මියට නිරාවරණය වීම නිසාත් දෑස්වල ගැටලු ඇති වීමට හේතු වේ. ඇතැම් රැකියාවල ස්වාභාවය අනුව හිරු කිරණින් බේරි සිටීම තරමක් අපහසුයි.

ඒ වගේම ඔබ නිතර හිරු කිරණට නිරාවණය වනවා නම් අනිවාර්යෙන්ම ක්‍රියාකාරී අමුද්‍රව්‍යක් ලෙස සින්ක් ඔක්සයිඩ් හෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් පමණක් ඇති sunscreen එකක් භාවිත කරන්න. ඒ වගේම ඕනම කෙනෙක් හිරු එළියට නිරාවරණය වන සෑමවිටම UV400 ප්‍රමිතිය සහිත අව් කන්නාඩියක් පළඳින්න.

5. ජාන ගති ලක්ෂණ

ජානමය හේතු නිසාත් ඇස්වල ගැටලු ඇති වෙන්න පුලුවන්. නමුත් ඇස් යට අවපැහැ වීම වගේ ගැටලුවලට කරන්න පුලුවන් ප්‍රතිකාර මඟින් ජානමය ගති ලක්ෂණය වුවත් පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා.

6. විවිධ ආසාත්මිකතා

විවිධ ආසාත්මිකතා නිසා ඇස් වටා අවපැහැ වීම සිදු වෙන්න පුලුවන්. මෙවැනි අවස්ථාවල දී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

7. ඇස් වටා වියළි වීම සහ හානි වූ සෛල එකතු වීම

ඇතැම් අයගේ ශරීරය තරම් වියළි ස්වාභාවයක් තිබෙනවා. ඇස් වටා වැනි ඉතාම සියුම් ස්ථානවලට වැඩි වශයෙන් මේ ගැටලුව බලපානවා. නිතර වතුර පානය කිරීම සහ ඇස් වටා තෙතමනය ආරක්ෂා කර ගැනීමට රාත්‍රියේ දී සම මෘදු කරන මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා ආලේප කරන්න. ඒ වගේම සුදුසු under eye cream වර්ගයක් දිනපතා භාවිත කරන්න. Niacin amide සහ විටමින් C දෙකම අඩංගු ක්‍රීම් වර්ග වඩාත් සුදුසුයි.

මේ හේතු ඇස් යට අවපැහැ වීමට ගොඩාක් බලපාන කරුණු වේ. ඇස් යට අවපැහැ වීම නැති කරගන්න කරන්න පුලුවන් ස්වාභාවික පහසු සත්කාර ගැන දැන් අපි බලමු. ඒ වගේම මේ සත්කාරවල උපරිම ප්‍රතිඵල බලන්න නම් අනිවාර්යෙන්ම ඉහත සඳහන් කරපු හේතුවලින් ඈත් වෙන්න හැකි තරම් උත්සාහ කරන්න.

අර්තාපල් යුෂ

සාමාන්‍ය ප්‍රමාණයේ අර්තාපල් ගෙඩියක යුෂ ගෙන කපු පුළුන් කැබැල්ලකින් ඇස් යට ගල්වා විනාඩි පහළවකට පමණ පසු සීතල වතුරෙන් සෝදාහරින්න.

ටී බෑග්

ටී බෑග් දෙකක් ශීතකරණය තුළ පැයක් පමණ තිබෙන්නට හැර පසුව ඇස් දෙක වටේම විනාඩි පහළවක් පමණ තියාගන්න. පසුව සෝදාහරින්න.

පිපිඤ්ඤා

නැවුම් පිපිඤ්ඤා ගෙඩියකින් ඝන පෙති 2ක් කපා එය පැයක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු එම පෙති දෙකක් ගෙන ඇස් වටා ප්‍රදේශයේ විනාඩි දහයක්ක් පමණ තබා ගෙන සිටින්න.

මේ සත්කාරවලට අමතරව මේ දේවලුත් කරන්න පුලුවන්

ආමන්ඩ් තෙල් තේ හැන්දක්
කෝමාරිකා ජෙල් තේ හැන්දක්
විටමින් ඊ කැප්සියුල් දෙකක්
මේ සියල්ලම එකට මිශ්‍ර කරගෙන ඇස් යට ගල්වා සියුම්ව ඇස් අවට මසාජ් කරන්න. රාත්‍රී කාලයේ මේ සත්කාරය කරලා උදේම සෝදා ඉවත් කරන්න.

කෝපි තේ හැඳි දෙකක්
තක්කාලි යුෂ තේ හැන්දක්
මී පැණි තේ හැන්දක්
මේ සියල්ලම එකට එකතු කරගෙන ඇස් යට ගල්වා විනාඩි තිහකට පසු සෝදා හරින්න.

යෝගට් තේ හැඳි හතරක්
කෝපි තේ හැඳි දෙකක්
මේ සියල්ලම එකට එකතු කරගෙන ඇස් යට ගල්වා විනාඩි තිහකට පසු සෝදා හරින්න.

මේ දේවල් හැම එකක් කරන්න උත්සාහ කරන්න එපා. ඔබට ලේසි පහසු එක ක්‍රමයක් තෝරාගෙන හැමදාම හෝ සතියට දින තුනක්වත් කරන්න උත්සාහ කරන්න. ඔබේ ඇස්වලට දැනෙන පහසුව සහ වෙනස ඔබටම දැකබලා ගන්න පුලුවන්.

මේ සත්කාර කිරීමට පෙර හොඳින් මතක තබා ගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි අපි මේ සත්කාර කරන්නේ අපේ ශරීරයේ තියෙන වටිනාම සහ ගොඩාක් සියුම් ස්ථානයකටයි. ඉතිං ගොඩාක් පරිස්සමින් කලබලයකින් තොරව මේ සත්කාර කිරීම අත්‍යවශ්‍යයි.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

වෙනත් ලිපි – ලස්සන වෙන්න කෝපි වලින් කරන්න පුළුවන් සත්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *