චිත්‍රපටයක් සඳහා වැඩිම ලාභ ඉපයූ සත්‍ය කතාවක් ඇසුරින් චිත්‍රපටයකට නිර්මාණය වූ දංගල් චිත්‍රපටය ගැන කතා කරන්න පුලුවන් ගොඩාක් දේවල් තිබෙනවා. බොලිවුඩයේ බිහි වූ හොඳම චිත්‍රපට අතරින් දංගල් චිත්‍රපටයට හිමිවන්නේ ඉහළම ස්ථානයක්. ඒ ස්ථානය කාලයත් එක්කම වෙනස් නොවන තරම් ප්‍රේක්ෂකයාට දැනෙන චිත්‍රපටයක් විදිහට දංගල් හඳුන්වන්න පුලුවන්.
ඉතිං මේ චිත්‍රපටයේ විශේෂම කරුණු කිහිපයක් ගැනයි මේ ලියවෙන්නේ.
තේමාව
ක්‍රීඩා තරගවල තිබෙන තරගකාරී බව ඇතුළත් චිත්‍රපට බොලිවුඩ් ලෝකයේ කිහිපයක්ම නිර්මාණය වී තිබෙනවා. දංගල් චිත්‍රපටයත් ඒ වගේ ක්‍රීඩා තරගයක් සහ ඉන්දියාවේ හරියානා නම් වූ සාම්ප්‍රදායික ගම්මානයක ජීවත් වන තම දියණියන් දෙදෙනෙක් සහ ඔවුන් දෙදෙනාගෙන් තමාට ළඟා වීමට නොහැකි වූ ජයග්‍රහණයන් මලල ක්‍රීඩාවෙන් ලබා ගනිමින් සිහින ඉටු කරගන්න වෙහෙසන පියෙකුගේ කතාව ඇතුළත් වෙනවා.

චරිතාප්‍රදානය
මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් ලියවිලා නිර්මාණය වූ චිත්‍රපටයක්. මල්ලවපොර ශූරයෙකු වන මහාවීර් සිංග් පොගට් හා ඔහුගේ දියණියන් දෙදෙනා සමඟ බැඳුණු සත්‍ය කතාවට දංගල් චිත්‍රපටයෙන් නැවතත් පණ ලැබෙනවා. මහාවීර් සිංග් පොගට්ගේ දියණියන් දෙදෙනාගෙන් ගීතා පොගට් 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වේ කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් රන් පදක්කමත්, අනෙක් දියණිය වන බබිතා කුමාරි 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වේ කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් රිදී පදක්කමත් ඉන්දියාට හිමි කර දුන්නෝය.
ඒ වගේම ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම ඉන්දියානු මල්ලවපොර ශිල්පිණිය ලෙස ගීතා පොගට් සුදුසු ලැබූ අතර 2016 දී රියෝ ඔලිම්පික් උළෙල සඳහා නියෝජනය කිරීමට බබිතාට හැකි වුණා. මහාවීර් නිසාම ඉන්දියාව තුළ මල්ලවපොර ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
ප්‍රධාන චරිත
බොලිවුඩයේ ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් වන අමීර් ඛාන් විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් ඔහුගේ විශිෂ්ට රංගනය කුසලතාව දකින්න පුලුවන්. ඔහුගේ කැපවීම සහ දක්ෂතාවය කොතෙක්දයත් මෙම චිත්‍රපටය වෙනුවෙන්ම ඔහුගේ ශරීරය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තිබෙනවා.
ගීතා පොගට්ගේ චරිතය ෆාතිමා සානා ශයික් විසින්ද බබිතා කුමාරි ලෙස සාන්‍යා මල්හෝත්‍රාත් චිත්‍රපටයේ උප ප්‍රධාන රංගනයට දායක වෙනවා. ඒ වගේම සහිරා වසීම්, සාක්ෂි තන්වාර්, සුහානි භාත්නගර්, අපර්ශක්ති ඛුරානා ඇතුලු දක්ෂ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

ආදායම් වාර්තා
බොලිවුඩ් සිනමාවේ රන් සළකුණ ලෙස දංගල් චිත්‍රපටය ආදායම් වාර්තා තබන්න සමත් වී තිබෙනවා. රුපියල් කෝටි 2000කට අධික ආදායමක් ලබා ගනිමින් බොලිවුඩ් සිනමාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතර සාර්ථක චිත්‍රපටයක් වී තිබෙනවා. ඉන්දියාවේ මෙන්ම චීනයේ හොංකොං නගරයේ දීත් දංගල් චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරට එක් වී තිබෙනවා.
හොංකොං හීදි ඉන්දියානු චිත්‍රපටයකට වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වන්නේත් දංගල් චිත්‍රපටයයි. ඒ වගේම චීනයේ දී සර්ව කාලීන ඉහළම ආදායම ලබන චිත්‍රපට 20 අතර දංගල් චිත්‍රපටයත් ඇතුළත්ව තිබෙනවා.
ලැබූ සම්මාන

දංගල් චිත්‍රපටය 62 වන ෆිල්ම් ෆෙයා සම්මාන උළේලේ දී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලබා ගැනීමට හැකි විය.
ඒ වගේම හොඳම නළුවාට හිමි සම්මානය අමීර් ඛාන්ටත් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දංගල් වෙනුවෙන් නිතේෂ් තිවාරිත් ලබාගෙන තිබෙනවා.
64 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී ගීතාගේ ළමාවිය වෙනුවෙන් චිත්‍රපටයට දායක වූ සයිරා වසීම් හොඳම සහාය නිළියගේ සම්මාන ලබාගෙන තිබෙනවා.
දංගල් චිත්‍රපටය කිහිපවාරයක් නැරඹුවත් එකම හැඟීමෙන් නැවත නැවතත් නැරඹිය හැකි චිත්‍රපටයක් බව කිව යුතුමයි.
රශ්මි මහේෂා ප්‍රනාන්දු
වෙනත් ලිපි –
මෙතෙක් වැඩිම ආදායම් ලබපු බොලිවුඩ් චිත්‍රපට 10 මෙන්න
බොලිවුඩ් සිනමාවේ චරිතාපදාන චිත්‍රපට 05ක්
අමීර් ඛාන්ගේ හොදම සිනමා කෘති 05ක්