ලෝකයේ පවතින රටවල්වල සංස්කෘතික, ආගමික සහ සමාජීය බව එකිනෙකට වෙනස් වෙනවා. සමහර රටවල්වල සංස්කෘතිකාංග නිසා ඒ රටවල ජනයාට ජීවිත කාලයේම අත්විඳින්න සිදුවන දේවල් පුදුම සහගතයි. විවිධ රටවල්වල පවතින මුල් බැසගත් වෙනස් වූ සංස්කෘතිකාංග නිසා කාන්තාවන්ට අත්විඳින්නට සිදුවෙන අමුතු විදිහේ දේවල් ගැනයි මේ විස්තර කරන්නේ.

ඇත්තටම මේ දේවල් සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර වුණත් එක්තරා විදිහේ හිංසාවක් කිව්වොත් නිවැරදියි.

1. ලිංගිකව පිරිසිඳු කිරීම

කෙන්යාව, ටැන්සානියාව, උගන්ඩාව, සැම්බියාව වගේ අප්‍රිකානු රටවල්වල මේ චාරිත්‍රය සිදු වෙනවා. අලුතින් මල්වර වූ ගැහැණු දරුවන් සහ වැන්දඹු කාන්තාවන්ව මේ ලිංගිකව පිරිසිඳු කිරීමට යොමු කරවනවා. මේ චාරිත්‍රයෙන් සිදු වන්නේ වෙනත් පිරිමියෙකු සමඟ ලිංගිකව එක් වන්නට යොමු කිරීමයි. වැන්දඹු කාන්තාවකගේ නම් ඇයගේ සහෝදරයෙක් හෝ වෙනත් පිරිමියෙකු මේ සඳහා යොදා ගන්නවා. අලුතින් මල්වර වූ ගැහැණු දරුවෙක් නම් ඇයව විවාහ කරගන්න කැමති පිරිමියෙකු මේ සඳහා යොදා ගන්නවා.

මේ චාරිත්‍රයෙන් ඔවුන්ගේ සියලු දෝෂ ඉවත් වෙලා සෞභාග්‍යය ඇති වෙනවා කියලා විශ්වාස කරනවා. නමුත් මේ නිසා විවිධ සමාජ රෝගවලටත් ගොදුරු වෙන ඉඩකඩ වැඩියි. නමුත් මේ චාරිත්‍රයට අකමැති වෙන ඕනම කෙනෙක්ව ගෙදරින් පන්නා දමන්න කටයුතු කරනවා. වැන්දඹු කාන්තාවක් නම් මිය ගිය සැමියාගේ කිසිඳු දේපළක් ඇයට හිමි වෙන්නෙත් නෑ.

2. පියයුරුවල වර්ධනයට බාධා කිරීම

කාන්තාවන්ගේ ශරීරයේ වැදගත්ම කොටසක් වන පියයුරු තමන්ගේ ජීවිතය බාධාවක් කියලා කැමරන් වැසියෝ විශ්වාස කරනවා.
කැමරන් වැසියෝ පමණක් නෙවෙයි තවත් අප්‍රිකානු රටවල්වල මේ විදිහට පියයුරුවල වර්ධනයට බාධා කරගනිමින් තමන්ගේ සුන්දර ශරීරය වෙනස් කරගන්නවා. මේ බාධා කිරීම සිදු කරන විදිහත් ගොඩක් වෙනස්. ගල් කැබලි ලෑලි වගේ දේවල් භාවිත කරලා තමයි ඔවුන් මේ පියයුරු වෙනස් කරගන්නෙ.

කුඩා කාලයේදීම විරුද්ධ පාර්ශවයෙන් ආකර්ශණය වීම වළක්වා ගැනීමට ඕන නිසා කුඩා ගැහැණු ළමුන්ටයි මේ විදිහට හිංසාවට ලක් කරමින් ඔවුන්ගෙර් පියයුරු වර්ධනය වීම වළක්වන්න කටයුතු කරන්නෙ..මේ ක්‍රමය කොතරම් වේදනාකාරී වුවත් තවමත් සක්‍රීයව පවතිනවා.

3. ඇඟිලි කපා දැමීම

ඉන්දුනීයාවේ පැපුවාහී ගෝත්‍රික වර්ගයක් අතරෙ තමයි මේ චාරිත්‍ර සිදු වෙන්නෙ. තමන්ගේ පවුලේ කවුරුන් හෝ කෙනෙක් මිය ගියාම තමන්ගේ ඇඟිල්ලක කොටසක් කපා ගැනීම සිදු කළ යුතුයි. නමුත් මේ චාරිත්‍රය සිදු කළ යුත්තේ කාන්තාවන් පමණයි. මැරුණු කෙනාට ගෞරවයක් වශයෙන් සහ තමන් ඒ මරණයෙන් ශෝකයට පත් වෙලා කියලා ඔප්පු කරන්නයි තමාලූ මේ විදිහට ඇඟිල්ලක කොටසක් කපා ගන්නේ.

තරුණ මහළු වෙනසක් නැතිව මේ චාරිත්‍රය ඉටු කළ යුතුයි. චාරිත්‍රය සිදු කරන විදිහත් ගොඩාක් අමානුෂිකයි. මේ ක්‍රමය තහනම් කරලා වුණත් තමවත් සිදු වෙනවා.

4. මනාලිය පැහැරගෙන යාම

දකුණු සුඩානයේ ජීවත් වන ගෝත්‍රික පිරිසක් අතර තමයි මේ චාරිත්‍රය පවතින්නේ. ඒ වගේම ඉතියෝපියාව, උගන්ඩාව වගේ රටවල්වලත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් තමන් කැමති කෙනාව විවාහ කරගන්න කලින් දෙමාපිය අවසරය ලබා ගැනීමක් සිදු කරන්නේ නෑ. ඉතිං තමන් කැමති කාන්තාවක් පැහැර ගෙන ගියාට පසුව තමයි ඇයගේ දෙමව්පියන්ගෙන් අවසර ගන්නේ.

නමුත් දෙමව්පියන් කැමති වුවත් අකමැති වුවත් පිරිමියාට එහි ගැටලුවක් නෑ. ඒත් ගොඩාක් වෙලාවට සිදුවන්නේ පැහැරගෙන ගිය කාන්තාව දූෂණයට ලක් කරලා ආයෙමත් නිවසටම ගෙනත් දැමීමක්ලූ.

5. ඔසප් සමයේ දී ගව මඩුවට දැමීම

නේපාලයේ ඇතැම් ප්‍රදේශවල මේ ක්‍රමය සිදු වෙනවා. කාන්තාවන්ගේ ඔසප් කාලයේ දී ගවමඩුවක තනි කිරීම සිදු වෙනවා. මේ ක්‍රමය දැනට තහනම් කරලා තියෙන්නෙ වුණත් තවමත් එය සිදුවෙමින් පවතිනවා. ඔසප් කාලය අතරතුර නිවසට ඇතුළු වීම හෝ කිසිවෙක් ස්පර්ශ කිරීම තහනම් වෙනවා. ඔසප් කාලය තුළ කාන්තාව අපිරිසිඳුයි කියලා විශ්වාස කරන නිසා තමයි නේපාල වැසියෝ මේ චාරිත්‍රය සිදු කරන්නේ.

6. කාන්තාවන්ගේ ප්‍රජනක අවයව ඡේදනය කිරීම

මැදපෙරදිග රටවල්වල සහ අප්‍රිකානු රටවල මේ ක්‍රමය සිදු වෙනවා. සුන්නත් කිරීම ලෙසත් මේ ප්‍රජනක අවයව ඡේදනය කිරීම හඳුන්වනවා. මේ චාරිත්‍රයේ දී කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ බාහිර කොටස් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් කොටස් කපා ඉවත් කිරීම සිදු වෙනවා. ඇතැමුන් යෝනි විවරය අර්ධ වශයෙන් වසා දැමීම සිදු කරනවා. මේ ක්‍රමයේ මූලික අරමුණ කාන්තාවන්ගේ ලිංගික ආශාවන් පහත දැමීමයි.

මේ ක්‍රමය මානව හිමිකම් කඩවීමක් විදිහට සැළකුවත් අද වනවිටත් මේ ක්‍රමය සිදු වෙනවා. මෙමඟින් කාන්තාව පාරිශුද්ධත්වය පත් වෙන බවට ඔවුන් මිත්‍යා විශ්වාසයේ ඇලී සිටිනවා. මේ හිංසාවට කුඩා ගැහැණු ළමුන් විශාල වශයෙන් මුහුණ දෙනවා. කිසිම වෛද්‍ය සුදුසුකමක් නැති පුද්ගලයින් විවිධ අපිරිසිඳු උපකරණ භාවිත කරලයි මේ ක්‍රියාව සිදු කරන්නේ. මේ නිසාම ඇතැම් අවස්ථාවල අධික රුධිරය වහනය වීමෙන් මරණයට පත්වන අවස්ථාද තිබෙනවා. ඒ වගේමයි මේ වේදනාව හිතා ගැනීමටවත් නොහැකියි.

7. බලහත්කාරයෙන් ආහාර ලබා දීම

කුඩා ගැහැණු දරුවන් බලහත්කාරයෙන් පෝෂණය කරන වයඹදිග අප්‍රිකානු රටක් වන මොරටේනියානු වැසියන් සිදු කරනවා. කාන්තාවන් පිරිපුන්ව මහතට සිටීම වාසනාවක් විදිහටයි ඔවුන් සළකන්නේ. නමුත් මේ පිරිපුන් මහත බව සෞඛ්‍යසම්පන්න පිරිපුන් බවක් නම් නෙවෙයි. කුඩා කළ සිටම තරබාරු කරවීමේ අරමුණින් ගැහැණු දරුවන්ට අධික ලෙස ආහාර ලබා දෙනවා.

ශරීරයේ මස් එල්ලෙන සුළු ලෙස ඇති කාන්තාවක් සෞභාග්‍යය සපිරි කාන්තාවක් ලෙස සළකනවා වගේම එවැනි කාන්තාවකට පහසුවෙන් විවාහයක් කර ගැනීමටත් හැකියි. කුඩා ගැහැණු ළමුන්ට විවිධ කඳවුරු පවත්වා ඔවුන්ට බලහත්කාරයෙන් දිනපතා ආහාර ලබා දෙනවා. ආහාර ප්‍රතික්ෂේප කරන දරුවන්ට අමානුෂික වධ හිංසාවලට ලක් කරනවා. මොරටේනියානු දැරියන් දිනකට කැලරි 16000ක් පමණ භාවිත කරනවා.

මේ වගේ විවිධ රටවල විවිධාකරයේ හිංසාවාදී චාරිත්‍රවාරිත්‍ර පවතිනවා. ඒවාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත් වනවා හැර කළ හැකි කිසිවක් නැහැ. මිනිසුන් විසින් විශ්වාස කරන මිත්‍යාවන් නිසා හිංසාවට ලක්වන මිනිසුන් මේ ලෝකය තුළ අප්‍රමාණව සිටිනවා.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

වෙනත් ලිපි – ලංකාවේ කෑම්පින් කරන්න හොදම කඳු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *