ලෝකයේ සිනමාවට හිමි ව ඇති ස්ථානය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඉහළම ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසා ගෙන එන නිර්මාණයන් හී පසුබිම (Back ground), රූගත කරන ප්‍රදේශ(locations) ඉතා වැදගත්. ලෝකයේ ඒ සඳහා ප්‍රසිද්ධ රටවල් අතර ලංකාවට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. මෙරට ඇති ස්වාභාවය බොහෝ ජාත්‍යන්තර නිර්මාණයන් අර්ථවත් ව ගෙන එන්නට යොදාගත් ආකාරය බොහෝ සිනමා නිර්මාණයන් තුළ හදුනාගත හැකියි.

ඉතින් මේ සොයාබැලීම මෙරට රූගත කළ ජාත්‍යන්තර සිනමාපට පිළිබඳවයි.

1. Bombey Velvet (2015)

අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටයේ රංගනයෙන් රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා සහ කරන් ජොහාර් සිය දායකත්වය සපයා ඇත. සම්පූර්ණ චිත්‍රපටයම මෙරට පසුබිම් යොදාගනිමින් රූගත කර තිබීම විශේෂත්වයක්. හම්බන්තොට රන්මිණිතැන්න ජාතික සිනමා උද්‍යානය, කොටුව දුම්රිය ස්ථානය, බෙන්තොට පාලම සහ ගාල්ල කොටුව ස්ථානයන්හී රූගතකිරීම් සිදුකර ඇත. 60-70 බොම්බායේ පසුබිම ප්‍රතිනිර්මාණය සඳහා මාස 10 ක් ගත ව ඇත. රෝසි නම් ජෑස් ගායිකාවගේ සිත දිනාගන්නට වෙර දරන වීදි සටන්කරුවෙකුගේ ජීවිතය හා දේශපාලනය මේ තුළ දිග හරියි.

2. Elephant Walk (1954)

එළිසබෙත් ටේලර්, ඩානා ඇන්ඩෲස් සහ පීටර් ෆ්‍රින්ච් ප්‍රධාන චරිතයන්ට පණ පොවයි. ලංකාවේ ජීවත්වන වැවිලිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට මුහුණපෑමට සිදුවූ අරගලයන් පිළිබද මෙහි දී ගෙන එයි. මහනුවර ප්‍රදේශයේ වතු කිහිපයක් රූගත කිරීම්වලට යොදාගෙන ඇති අතර අනෙක් කොටස් හොලිවුඩ් චිත්‍රාගාරයක රූගත කර ඇත.

3. A Dangerous life (1988)

රොබට් මාර්කෝව්ට්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ඇමරිකානු මාධ්‍යවේදියෙක් විසින් මාකෝස් පාලනයේ සැබෑව හෙළි කිරීමට ගන්නා උත්සාහය පිළිබද ගෙන එනු ලබයි. මෙහි රූගත කිරීම් පිලිපීනයේ කිරීමට සැලසුම් කළ ද , පසුව දේශපාලනික බලපෑම් හේතුවෙන් එය ලංකාවේ රූගත කිරීම් සිදුකර ඇත.

4. Water (2005)

Layout 1

දීපා මෙහෙතා විසින් අධ්‍යක්ෂණය කළ මතභේදයට තුඩු දෙන තේමාවක් මේ තුළ අන්තර්ගතය. ගාන්ධිතුමාගේ අවිහිංසාවාදී සටන් පසුබිම තුළ වැන්දඹු කාන්තාවන්ගේ අවිනිශ්චිත ජීවිත පිළිබඳ මෙහි නිරූපණය වේ. හින්දු මූලධර්මවාදීන්ගේ විරෝධය හමුවේ බොහෝ රූගත කිරීම් සිදුවූයේ ශ්‍රී ලංකාවේය. ජෝන් ඒබ්‍රහම්, ලීසා රේ, ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් වන සරළා කාරියවසම්, අයිරාංගනී සේරසිංහ සහ බුද්ධි වික්‍රම රංගනයෙන් දායකත්වය සපයති.

5. The Purple Plain (1954)

එවර් බේට්ස්ගේ The Purple Plain නව කතාව ආශ්‍රයෙන් රොබට් පැරිෂ් විසින් අධ්‍යක්ෂණය කර ඇත. ග්‍රෙගරි පේක් නිරූපණය කරන්නේ තම බිරිදගෙ වියෝ වීමෙන් මානසිකව පීඩාවට පත් ව සිටින කැනේඩියානු ගුවන් නියමුවෙකුගේ චරිතය යි. දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේ ජීවිතයන් මින් මනාව ගෙන දක්වයි. මෙහි රූගතකිරීම් සීගිරිය හා කොග්ගල ප්‍රදේශයන් හී සිදු කර ඇත.

6. The Bridge on the River Kwai (1957)

බ්‍රිතාන්‍ය – ඇමරිකානු වීර කතාවක් මේ තුළ පදනම වේ. 1942- 43 දී බුරුම දුම්රිය මාර්ගයේ පසුබිම මෙහිදී ගොඩනගයි. ඩේවිඩ් ලීන්ගේ අධ්‍යක්ෂණයකි. විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස් සහ ඇලෙක් ගිනස් රංගනයෙන් දායක වී තිබේ. කිතුල්ගල ප්‍රදේශයේ රූගත කිරීම් සිදු කර ඇත. 20 වන සියවසේ ලෝකයේ හොදම ච්ත්‍රපට 11 අතරට මෙය එක් වී ඇත.

7. Mother Teresa : In the Name of God’s Poor (1997)

කෙවින් කොනර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි තෙරේසා මව්තුමියගේ චරිතයට පණ පොවන්නේ චාලි චැප්ලීන්ගේ දියණිය වන ජෙරල්ඩීන් චැප්ලීන් ය. කල්කටාවේ දිළිදුකමින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා කල්කටාවේ ගෙන ගිය ව්‍යාපාරය මෙහි නිරූපණය වේ. ශ්‍රී ලාංකික නිළියන් වන නිම්මි හරස්ගම, යශෝධා විමලධර්ම සහ වීනා ජයකොඩි රංගනයෙන් දායක වෙති. කොළඹ මුඩුක්කු නිවාස අශ්‍රිත ව රූගත කිරීම් සිදු කර ඇත.

8. Indiana Jones and the Temple of Doom (1984)

හැරිසන් ෆෝර්ඩ් ප්‍රධාන රංග දායකත්වය සපයයි. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කර තිබේ. රූගත කිරීම් මහනුවර දී සිදු ව ඇත. ගම, පන්සල, පන්කොට් මාලිගාව සඳහා මැටියෙන් කළ ආකෘති යොදා ගෙන ඇත. 

9. Midnight’s Children ( 2012)

දීපා මෙහෙතා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටයට පදනම වන්නේ සල්මන් රුෂ්ඩිගේ කෘතියකි. මෙහි රූගත කිරීම් සම්බනධව ලංකාවේදී පවා විරෝධතා මතුවූවත් එවකට ජනාධපති මහින්ද රාජපක්ෂ විසින් එම තහනම ඉවත් කරමින් රූගත කිරීම් සඳහා අවසර ලබා දී ඇත. මෙය ඉන්දියානු දරුවන් දෙදෙනෙකු වටා ගෙතෙන ජීවිත අන්දරයකි. මෙහි රූගත කිරීම් රිජ්වේ ආර්යා ළමා රෝහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ දේවස්ථානය, මවුන්ට් ලැවේනියා 80 Club හී වැරෙන්ඩාව යොදාගෙන ඇත.

10. The Second Jungle Book : Mowgli and Baloo (1997)

ඇමරිකානු කදු ප්‍රදේශ මෙහි මුල් කෘතියේ පසුබිමයි. ඒ සඳහා මහනුවර කදුකරය යොදාගෙන ඇත. ජේම් විලියම්ස් Mowgliගේ චරිතයට පණ පොවයි. රොඩි මැක්ඩොවෝල්, බිලී කැම්බල් සහාය චරිතයන් රග දක්වයි. මෙහි විජේරත්න වරකාගොඩ, සුනිල් හෙට්ටිආරච්චි සහ රාජා සුමනපාල රංගන දායකත්වය සපයා ඇත.

11. Tarzan the Ape Man (1981)

1931 මුල් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. ජෝන් ඩෙරෙක්ගේ අධ්‍යක්ෂණයෙන් බෝ ඩෙරෙක්, රිචඩ් හැරිස් සහ මයිල්ස් ඕකීෆ් රංගනයෙන් දායක වී ඇත. මෙහිදී ශ්‍රී ලංකාවේ කදුකර ප්‍රදේශයන් හී රූගත කිරීම් සිදු කර ඇත.

ඓතිහාසිකත්වය, පාරිසරික විවිධත්වයෙන් අනූන ශ්‍රී ලංකාවේ මෙවැනි ජාත්‍යන්තර සම්මානයන් හිමිකරගත් සිනමාපට රූගත කිරීම තුළ මෙරට කීර්තිය මෙන් ම වටිනාකම තව දුරටත් ඉහළ නැංවෙන බව නොරහසක්. පිටරැටියන් අපේ දේ අගයන බවට වන මේ කදිම නිදසුනක් කලා මධ්‍ය ආශ්‍රයෙන් බොහෝ හදුනාගත හැකියි.

ඉෂාන්ති අමරසිංහ

වෙනත් ලිපි – ලෝකයේ වැඩිම මිලක් සහිත ආහාර වර්ග 05ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *