අපි ආහාරයක් නිවසේ පිළියෙළ කර ගත්තත් වෙළෙඳපොළෙන් මිලදී ගත්තත් අපි එහි රසය වගේම පෝෂණ ගුණය , සුරක්ෂිතව පිළියෙළ කර ගන්නා ආකාරය ගැන නම් සැලකිලිමත් වෙනවා.වැදගත් පෝෂණ ගුණයෙන් යුතු ආහාරයක් ගත් පමණින්ම ඔබට නිරෝගී ජීවිතයකට උරුමකම් කියන්නට පුළුවන් යැයි ඔබ සිතා සිටිනවා විය හැකියි. නමුත් ඔබ ආහාර ගැනීමෙන් පසු නොකළ යුතු දේ ගැන සැලකිලිමත්ද?

අපි හැමෝම නොදැන හෝ එක් වරදක් හෝ කිහිපයක් සිදු කරන බවට නම් විශ්වාසයි. ඉතිත් ඒ දේවල් නිසා ඔබට හානියක් වෙනවද , කළොත් මොකද වෙන්නෙ මේ ඒ ගැන පැහැදිලි කිරීමක්.

1. ප්‍රධාන ආහාරයක් ගත් විගස පලතුරු අනුභවය

මේක නම් අපි කවුරුත් කරන දෙයක් උනත් පෝෂණ විද්‍යාත්මකව හරි දෙයක් නෙවෙයි. මෙයට හේතුව පලතුරු වල ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ ෆෘක්ටෝස් කියන සීනි වර්ගය. ඉතින් එය ජීර්ණයට අවශ්‍ය වෙන්නෙ අඩු සාන්ද්‍ර ජීර්ණ යුෂ වර්ගයි. ඒත් ආහාරයක් ගත් විගස ආමාශයේ ජීර්ණ යුෂ වැඩි ප්‍රමාණයක් වැඩි වේලාවක් පවතිනවා. එමගින් පලතුරු වල පෝෂණ මුළුමනින්ම වියෝජනය වී යන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි මෙම ක්‍රියාවලියේදි වායු වර්ග පිට වීම නිසා ආමාශයේ වාතය පිරෙනවා. මෙමගින් ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා පැමිණීමෙන් පෝෂ්‍ය පදාර්ථ නිසියාකාරව අවශෝෂණය නොවීමටත් සමහර විට දියවැඩියාව ආහාර ජීර්ණ ගැටලු සමග ඇතිවෙන්නත් පුළුවන්. එම නිසා අවම වශයෙන් ආහාර වේලක් හා පලතුරු වේලක් අතර පැයක වත් පරතරයක් පැවතිය යුතුයි. උදේ වරුවේ වතුර වීදුරුවක් පානය කිරීමෙන් පසු පලතුරු ආහාරයට ගැනීම ඔබට පලතුරු ආහාරයට ගත හැකි හොඳම වේලාවයි.

2. ආහාර ගත් විගස ස්නානය කිරීම

මෙය නම් ඔබ අපි කවුරුත් අසා ඇති දෙයක්. ඒත් මෙහි විද්‍යාත්මක පැත්ත මොකක්ද? අපි ආහාරයක් ගත් පසු අපේ අමාශයට රුධිර සැපයීම වැඩි වෙනවා. මොකද එයට විශාල ශක්තියක් හා නිසි උෂ්ණත්වයක් අවශ්‍ය නිසා. ඒත් අපි ස්නානය කිරීමේදී ඔබේ ශරීර උෂ්ණත්වය වැඩිකිරීම දේහය උත්සාහ කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ අත් පා වලට, පර්යන්ත අවයව වලට වන රුධිර සැපයුම වැඩිවෙනවා. මෙහිදී ආමාශය අවට රුධිර සැපයුම අඩු වන්න පුළුවන්. එමගින් ඔබ ගත් ආහාර ජීරණය කිරීමට අපහසු වෙනවා වගේම කෙණ්ඩ පෙරලීම වැනි ආබාධත් ඇති වෙන්න පුළුවන්.

3. ආහාරයක් ගත් විගස තේ පානය

ප්‍රමාණවත් පරිදි තේ පානය ඔබේ සෞඛ්‍යයට අහිතකර නොවන නමුත් ආහාරයක් ගත් විගස තේ පානය නම් හිතකර නොවේවි.තේ වල විශාල වශයෙන් ආම්ලිකතාවයක් තිබෙන අතර එය ආහාර දිරවීමේ ක්‍රියාවලියට බලපෑම් කරනවා.

ඔබ ආහාර වේලෙහි ප්‍රෝටීන් පරිභෝජනය කරයි නම් , තේ වලින් ලැබෙන අම්ලය ප්‍රෝටීන් සමග අන්තර්ක්‍රියා කරමින් ආහාර ජීර්ණයට බලවත් බාධා එල්ල වේ.තවද යකඩ හා ඛණිජ අවශෝෂණය කර ගැනීමට ඔබේ ශරීරයට ඇති හැකියාව මන්දගාමී විය හැකිය.එමනිසා අවම වශයෙන් කෑම වේලකට පැයකට පෙර හා පසු තේ පානයෙන් වැලකී සිටින්න.

4. ආහාර ගත් වහාම නින්දට යාම

ආහාරයක් ගත් පසු ඇතිවන නිදිමත නම් ස්වාභාවිකයි. මෙයට හේතුව ඔබේ මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසයි. ඒත් අද කාලේ ආහාර අනුභවයෙන් පසු ඇතිවන මත “බුදි මත” යනුවෙන් නමක් සාදාගෙන එය සාධාරණීකරණය කිරීමකුත් සිදුවෙලා තියෙන්නෙ. එහෙත් ආහාර ගැනීමෙන් පසු නිදා ගැනීම නම් හොඳ පුරුද්දක් නෙවෙයි.

මන්ද ආහාර ජීර්ණයේ පළමු අදියර මොළය විසින් සක්‍රීයව පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ඒත් ඔබ නින්දට යාමේදී මොළය මගින් සිදුවෙන පාලනය වෙනුවට එය සිදු වන්නේ කලින් සකස් වුණු රටාවකට විතරයි. එමෙන්ම ආහාර ගැනීමෙන් පසු ඔබ නිරන්තරයෙන් නිදා ගන්නේ නම් එය ආහාර ජීර්ණ රෝග රැසකට තුඩුදිය හැකියි. සාමාන්‍යයෙන් ආහාර වේලක් අනුභවයෙන් පැය 2ත් 4ත් අතර කාලයකට පසු ඔබට නින්දක් ලබා ගත හැකි යැයි පෝෂණවේදීන් පවසයි. මෙමගින් ආහාර ජීර්ණයට ඉඩ සලසන අතර ආමාශයේ අන්තර්ගතය කුඩා අන්ත්‍රය තුළට ගමන් කරයි. මෙමගින් රාත්‍රියේ අජීර්ණ තත්ව සහ නින්ද නොයාම වැනි ගැටලු වළක්වා ගත හැකිය.

5. ආහාර ගැනීමෙන් පසු සිගරට් පානය

විද්‍යාඥයින් පවසන පරිදි , ආහාර වේලකින් පසු සිගරට් පානය කිරීම අතිශයින් භයානක වන අතර එය මුළු ශරීරයටම හානි කරයි. ඔවුන් පවසන පරිදි එකවර සිගරට් 10ක් පානය කළා හා සමාන සෞඛ්‍යය අවදානමක් මෙයින් ඇතිවේ. සිගරට් දුමෙහි අඩංගු නිකොටීන් නැමැති රසායනිකය රුධිරයේ ඔක්සිජන් සමග සම්බන්ද වී ආහාර ජීර්ණ පද්ධතිය කරාද ගමන් කරයි. එමගින් බඩවැල් පිළිකා සහ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවේ.

6. ඔබ පැළද සිටින බඳ පටිය ලිහිල් කරන්නත් එපා

මෙයනම් එතරම් වැදගත් නොමැති දෙයක් කියලා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් සමහරුන් ආහාර ගෙන අවසන් වෙලා උදරයට අපහසුවක් දැනුනම ඉණේ බඳ පටිය බුරුල් කරනවා. මෙමගින් අන්ත්‍ර ඇදී යාමක් වෙන්න පුළුවන් වගේම එහි ප්‍රතිඵලක් ලෙස ජීර්ණය යම්කිසි පසුබෑමකට ලක්වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපි නොවැදගත් යැයි සිතන ඇතැම් දේ පවා ශරීර සෞඛ්‍යයට බලපාන ආකාරය හරි පුදුමයි නේද ?

තවත් වැදගත් කරුණක් නම් ආහාර ගන්නට පෙර වතුර විශාල වශයෙන් පානය කරන්න එපා. එමගින් ජීර්ණ එන්සයිම තනුක වීමෙන් නිසියාකාරව ජීරණය ගෙන දීමට බාධා ගෙන දෙන්න පුළුවන්. නමුත් ඔබ ආහාර ගැනීමට මිනිත්තු 30කට පෙර ඇල් මැරුණු වතුර වීදුරුවක් පානය ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට උදව්වක් වෙනවා.

ඔබ ආහාරයක් ගත් විගස එසේ නම් කුමක් කළ යුතුද යන්න දැන් ඔබට සිතෙනවා ඇති. ආහාරයක් ගත් පසු වාඩි වී කතා බස් කිරීම වෙනුවට ඔබට සුළු වේලාවක් එනම් මිනිත්තු 15ක්-20ක් පමණ ඇවිදීමට හැකියි. එමගින් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට පහසුවක් ගෙන දෙනු ඇත. ඉතින් ඔබත් මෙතෙක් කල් ආහාර ගන්නට පෙරත් පසුත් මේ වගේ වැරදි කළා නම් අද සිටන් නිසියාකාරව කටයුතු කර සෞඛ්‍යය සම්පන්න ජීවිතයකට උරුමකම් කියමු.

භාණුක පබසර

වෙනත් ලිපි – සුළු අතපසුවීමකින් පවා මරණයට පත්වන ලොව භයානක අහාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *