සොබාදහමේ උසස්ම මැවුමක් වෙන මිනිස් වර්ගයාගෙන් විස්මිතම නිමැවුම කාන්තාව කියන්න පුලුවන්. ගැහැණු පිරිමි අතරින් ගැහැණිය යනු ඇත්තෙන්ම පුදුමාකාර නිර්මාණයක්. එහෙම කියන්න හේතු නම් කොච්චර තියෙනවද. දරුවෙක්ව බිහි කිරීම, දරුවෙක්ව තමන්ගේ ශරීරයෙන් නිපදවෙන කිරි මඟින් පෝෂණය කිරීම, වගේ සොබාදහමෙන් ගැහැණියකට පමණක්ම උරුම වූ විස්මිත ක්‍රියාවලින් බොහෝමයක් තිබෙනවා. ඔසප් වීමත් ඒ වගේමයි.

ඔසප් වීමක් කියන්නෙ මොකක්ද කියලා ඕනම කෙනෙක් දන්නවා. මල්වර වූ ගැහැණු දරුවෙක් මාසිකව තමන්ගේ ගර්භාෂය දරුවෙක් වෙනුවෙන් ස්වාභාවිකවම සැකසෙනවා. ඒ කියන්නේ ගර්භාෂය යුක්තාණුවක් පිළිගන්න සැරසෙමින් දරුවෙක් වර්ධනය කරන්න පුලුවන් පරිසරය තමන්ගේ ගර්භාෂයේ සකසගන්නවා. ඒත් සෑම ඩිම්බයක්ම ශුක්‍රාණුවක් හා එක්ව යුක්තාණුවක් වෙලා දරුවෙක් නිර්මාණය වෙන්න හැකියාවක් නැහැ.

ඉතිං බලාපොරොත්තු බිඳ වැටෙන ඩිම්බය සිරුරෙන් පිට වෙන්නෙ ඒ වෙනුවෙන් සකස් වුණ ගර්භාෂ බිත්ති සියල්ලත් බිඳ වට්ටගනිමින්. කාන්තාවකට දින 28කට වරක් සිදුවෙන මේ ක්‍රියාවලිය මල්වර වීමෙන් පසු වයසට යනතුරුම මුහුණ දෙන්න සිදුවෙන ස්වාභාවික ක්‍රියාවලියක් වෙනවා. දින කිහිපයක් මේ ක්‍රියාවලියට මුහුණ දෙන්න කාන්තාවකට සිදු වෙනවා වගේම සෑම මාසයකම ඒ කාලය කාන්තාවක් අපහසුවෙන්ම ගත කරන දින කිහිපය කිව්වොත් නිවැරදියි.

මේ ඔසප් කාලය තුළ කාන්තාව තමන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් භාවිත කරන දේවල් කිහිපයක්ම තියෙනවා. කාන්තාවන් තමන්ගේ ඔසප් කාලය තුළ දී වැඩි වශයෙන් භාවිත කරන්න පෙළඹෙන්නේ සනීපාරක්ෂක තුවා එහෙමත් නැත්තම් පෑඩ් (Pad). නමුත් ලෝකයේ තවත් සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔසප් කාලය වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඔසප් කාලය තුළ කාන්තාවන් භාවිත කරන්න පුලුවන් සනීපාරක්ෂක ද්‍රව්‍ය ගැනයි මේ විස්තරේ ඉදිරියට ලියවෙන්නෙ.

1. සනීපාරක්ෂක තුවා

ලොව කාන්තාවන් තමන්ගේ ඔසප් කාලයේ දී බහුලවම භාවිත කරන්නේ සනීපාරක්ෂ තුවා වේ. වැඩි වශයෙන්ම ආසියාතික කාන්තාවන් මේ සඳහා පෙළඹෙනවා.

මේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයේදී අවධානය යොමුකරන්නේ උපරිම උරාගැනීමේ හැකියාවක් සහිත ද්‍රව්‍ය යොදාගැනීම සඳහා පමණයි. සාමාන්‍ය සනීපාරක්ෂක තුවා පිළිස්සීමේදී කළු පාට දුමක් දුර්ගන්ධයක් හා පිළිස්සී අවසානයේ ඉටි වැනි ද්‍රව්‍යක් ඉතුරුවන බව දක්නට ලැබේවි. මෙයින් පැහැදිලි වන්නේ මෙවැනි සාමාන්‍ය සනීපාරක්ෂක තුවායක් නිෂ්පාදනයේදී ඩයොක්සින්, සින්තටික් ෆයිබර් වැනි පොලිතින් නිෂ්පාදනයේදී යොදාගන්නා ද්‍රව්‍ය මේවා සඳහා භාවිතා වන බවයි. විවිධ පරීක්ෂණවලට අනුව පොලිතින් කවර පහක අඩංගු ද්‍රව්‍ය එක සනීපාරක්ෂක තුවයක අඩංගු වෙනවා බව තහවුරු වෙලා තිබෙනවා.

නමුත් දවසින් දවස විවිධාකාර නම්වලින් සනීපාරක්ෂක තුවා වර්ග වෙළෙඳපොළට පැමිණෙනවා. අද වෙනකොට හොඳම සනීපාරක්ෂක තුවා වර්ගය මොකක්ද කියලා හිතාගන්නත් බැරිතරම් නිෂ්පාදන වර්ග එකතු වෙලා. සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ දී නිසි ප්‍රමිතීන්ට අනුකූලව නිසි ප්‍රමිති සහතිකයක් තියෙනවාද කියලා හොයලා බලන්න ඕන. ඒ වගේම උපරිම පැය 5-6 අතර කාලයකට වඩා එක සනීපාරක්ෂක තුවායක් මාරු කළ යුතුමයි. නැත්තම් අනාගතයේ දී විවිධ ලෙඩ රෝගවලට මුහුණපාන්න නොඅනුමානයි.

2. ඔසප් දිනවල භාවිත කළ හැකි කප් (Menstrual cup)

සනීපාරක්ෂක තුවාවලට අමතරව වර්තමානයේ දී කාන්තාවන් වැඩි වශයෙන් භාවිත කරන සනීපාරක්ෂක ද්‍රව්‍යයක් ලෙස මේ කප් හැඳින්විය හැකියි. කුඩා, නම්‍යශීලී ලෙස නිර්මාණය වූ මේ කප් එක ශරීරයට හිතකර වෛද්‍ය අනුමැතිය තිබෙන සිලිකන්, රබර් හෝ ප්ලාස්ටික් භාවිතයෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ඒ වගේමයි ඔසප් කාලය තුළ මේ කප් එකක් භාවිත කිරීම කාන්තා පාර්ශවයට ඉතාම වාසිදායක ක්‍රමයක් බවටයි හඳුන්වන්නේ.

ඒකට හේතුව මෙම සනීපාරක්ෂක කප් එක නැවත නැවත භාවිත කළ හැකි වීමයි. මේ කප් එක ශරීරය තුළට එනම් යෝනි මාර්ගය තුළට ඇතුල් කරන නිසා කාන්තාවන් තුළ යම් බියක් පවතිනවා. නමුත් කිහිප වාරයක් භාවිත කිරීමෙන් පසු තමන් මීට පෙර භාවිත කළ සනීපාරක්ෂක ද්‍රව්‍යවලට වඩා මේ ක්‍රමය ඉතාම සුවපහසු ක්‍රමයක් බවට පත් වෙනවා.

පැය 6-12 අතර කාලයක් මෙම කප් එක පැළඳ සිටීමට හැකි අතර එය ඉවත් කිරීමට නම් එයට එකතු වී තිබෙන රුධිර තරල ඉවත් කර සෝදා නැවත භාවිත කළ හැකියි.

මෙම සනීපාරක්ෂක කප් එක භාවිත කරන කාන්තාවන් පවසන්නේ මෙය භාවිත කිරීම සහ පැළඳ සිටීම ඉතාම සුවපහසු බවයි. ඒ වගේම භාවිත කළ පසු පරිසරයට මුදා හැරීමක් සිදු නොවෙන නිසා පරිසර හිතකාමී සනීපාරක්ෂක නිර්මාණයක් ලෙසද හඳුනාගන්න පුලුවන්. පළමුවරට භාවිත කරන කාන්තාවක් නම් ඇසුරුමේ ඇති උපදෙස් කියවා නිසි ලෙස විෂබීජහරණය කළ යුතුයි.

නිසි ලෙස මේ කප් එක යෝනි මාර්ගය තුළට ඇතුල් වී එය ස්ථානගත වූවාට පසුව එය පැළඳ සිටින බවවත් මතක නැති වෙන තරම් සුවපහසුවක් ලැබෙන බව භාවිත කරන කාන්තාවන්ගේ අදහසයි. ඒ වගේම රුධිර තරල කාන්දු වීමක් මෙමඟින් සිදු නොවේ. මේ කප් එක නැවත භාවිත කිරීමට පෙර උණු වතුරේ මිනිත්තු 5-10 ක් තම්බා ගැනීම වඩාත් යෝග්‍යයි. පොදු ස්ථානයක දී නම් සෝදා පිරිසිඳු කිරීමෙන් පසුව ටිෂූ කැබැල්ලකින් පිසදාගෙන වියළා ගැනීමෙන් නැවත භාවිත කළ හැකියි. නමුත් හැකි සෑම විටෙකම උණු වතුරේ තම්බා ගැනීමෙන් විෂබීජහරණට සාර්ථකව කළ හැකියි.

3. ටැම්පෝන් (Tampons)

ටැම්පෝන් ගැන නම් ලෝකයේ බොහෝ රටවල්වල කාන්තාවන් බොහෝවිට දැනුවත් නැහැ. ඒ වගේම ටැම්පෝන් භාවිතයට යම් බියක් කාන්තාවන් තුළ පවතිනවා. ඒකට හේතුව හිතලා බැලුවමත් ඒ බිය හරිම සාධාරණයි. හේතුව තමයි ටැම්පෝන් සනීපාරක්ෂක ද්‍රව්‍ය භාවිත කරන්නේ ශරීරය තුළට වීමයි. යෝනි මාර්ගය තුළට ඇතුල් කරන නිසා බොහෝ කාන්තාවන් සිතන්නේ එහි දී එය නැති වෙන්නට පුලුවන් බවයි.

ඒත් යෝනි මාර්ගයෙන් තවත් ගැඹුරට ටැම්පෝන් එකකට ගමන් කිරීමේ හැකියාව නැහැ. මේ නිසා ටැම්පෝන් එකක් නැවත් පිටතට ගැනීමට භාවිත කරන නූල නොමැති වුවත් ටැම්පෝන් එකක් නැවත පිටතට ගැනීමට හැකියාව තිබෙනවා. මේ පිටතට ගැනීමට භාවිත වෙන ටැම්පෝන් එකෙහි අවසානයේ තිබෙන නූල නොමැති වෙන අවස්ථාත් ඉතාම දුර්ලභයි. මේ නිසා අනිසි බියක් ටැම්පෝන් කෙරෙහි ඇති කරන්න ඕන නැහැ.

බටහිර රටවල්වල මේ ටැම්පෝන් සනීපාරක්ෂක නිෂ්පාදනය ප්‍රචලිතයි. ඔසප් කාලය තුළ දී මේ ටැම්පෝන් නිෂ්පාදනය යෝනි මාර්ගයට ඇතුළ් කිරීමක් සිදු වෙනවා. එමඟින් ඔසප් කාලය තුළ දී පිටවෙන රුධිර මේ නිෂ්පාදනයට උරාගන්නවා. මේ නිෂ්පාදනය දකින කෙනෙක්ට ඒක අපහසුයි කියලා හිතුණත් භාවිත කරන අය කියන්නෙ නම් මේ ක්‍රමය ඉතා සාර්ථකයි කියලා. ක්‍රීඩා කටයුතුවල නියැළෙන කාන්තාවන්ට ගොඩාකම් උචිත ටැම්පෝන් සනීපාරක්ෂක ක්‍රමය වඩාත් උචිතයි.

තද කළ කපු මිශ්‍රණයක් හෝ රේයන් එහෙමත් නැතිනම් මේ දෙවර්ගයම සහ කෘතීම තන්තු භාවිත කරලා නිෂ්පාදනයක් වගේම එක් වරක දී භාවිත කළ හැක්කේ එක ටැම්පෝන් එකක් පමණයි. පැය අටකට වඩා එක් ටැම්පෝන් එකක් පැළඳ සිටීම සනීපාරක්ෂාවට ඉතා අහිතකරයි. ඒ වගේම යෝනි මාර්ගය තුළට මේ ද්‍රව්‍ය ඇතුල් කිරීමට පෙර අනිවාර්යෙන්ම තමන්ගේ ඈත් හොඳින් සෝදා ගන්න ඕන. මේ ක්‍රමය බොහෝ කාන්තාවන් අතර ප්‍රචලිත නොවන ක්‍රමයක් වුවත් ටැම්පෝන් භාවිත කරන කාන්තාවන්ගේ අදහස වෙන්නෙ මෙය ඔසප් කාලය තුළ දී තමන්ගේ එදිනෙදා වැඩවලට කරදරයක් නොවන පහසුවක් සපයන්නක් බවයි.

කප් සහ ටැම්පෝන් යන ක්‍රම දෙකම සිදු කළ යුත්තේ ශරීරය තුළට ඇතුල් කිරීම නිසා බොහෝ කාන්තාවන් මේ ක්‍රම දෙකටම යම් බියක් දක්වනවා. බොහෝවිට ආසියාතික රටවල්වල සංස්කෘතිය සමඟ කාන්තාවකගේ කන්‍යාභාවය් මනින ආකාරයන් නිසා ඔසප් කාලය තුළ දී කප් හෝ ටැම්පෝන් භාවිත කිරීම කන්‍යාවකට නම් අනුමත කරන්නේ නැහැ. නමුත් අද වනවිට ආසියාතික රටවල විවාහක කාන්තාවන් තමන්ගේ ඔසප් කාලයේ දී කප් භාවිත කිරීමට පෙළඹෙනවා. යුරෝපා රටවල කාන්තාවන් බොහෝවිට මේ ක්‍රම දෙක භාවිත කරනවා. මේ ක්‍රම දෙක නිවැරදිව භාවිත කරන ආකාරය දැනුවත් කිරීම ගැන යූ ටියුබ් වීඩියෝ විශාල වශයෙන් තිබෙනවා.

4. කපු රෙදි

කෘතීම අමුද්‍රව්‍යය භාවිතයෙන් නිර්මාණය වන සනීපාරක්ෂක තුවා මඟින් ශරීරයට සහ භාවිත කිරීමෙන් පසු ඉවත් කරන සනීපාරක්ෂක තුවා දිරාපත් වීමට ඉතාම දීර්ඝ කාලයක් ගත වෙනවා. එයට හේතුව වන්නේ එම සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයට භාවිත කරන කෘතීම පුළුන් සහ අනෙකුත් පොලිතින් ආශ්‍රිත ද්‍රව්‍ය වීමයි. මේ හේතු නිසාම කෘතීම නිර්මාණය වූ වෙළෙඳපොළෙ තියෙන සනීපාරක්ෂක තුවා වගේම කපු රෙදිවලින් නිර්මාණය වූ ශරීර හිතකර වගේම නැවත නැවත භාවිත කරන්න පුලුවන් සනීපාරක්ෂක තුවා නිර්මාණය වෙලා තියෙනවා.

රෙදි භාවිතය මඟින් ඔසප් කාලයේ දී සනීපාරක්ෂාව ආරක්ෂා කරගැනීම අතීතයේ පටන්ම සිදු වූ ක්‍රමයක් වෙනවා. නමුත් වෙළෙඳපොළට පැමිණි කෘතීම සනීපාරක්ෂක තුවා නිසා රෙදි භාවිතය කාන්තාවන්ට මඟහැරුණු ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ඒත් මේ ක්‍රමය ඉතාම සෞඛ්‍යාරක්ෂිතයි වගේම පරිසර හිතකාමියි. භාවිත කිරීම සුවපහසු ලෙස සෞඛ්‍යාරක්ෂිත කපු රෙදිවලින් නිර්මාණය වූ සනීපාරක්ෂක තුවා නිෂ්පාදන අදවනවිට මිල දී ගන්න පුලුවන්.

5. ඔසප් කාලයටම නිර්මාණය වූ යට ඇඳුම් (period panties)

මේ ක්‍රමය තවමත් ප්‍රචලිත නොවූ ක්‍රමයක් විදිහට හඳුනාගන්න පුලුවන්. නමුත් ඇතැම් රටවල සාර්ථක ලෙස කාන්තාවන් භාවිත කරනවා. මෙය සාමාන්‍ය කාන්තා යට ඇඳුමක් ලෙස නිර්මාණය වී තිබෙනවා. ඒ නිසාම ඔසප් කාලයේ දී ඉතාම පහසුවෙන් භාවිත කරන්න පුලුවන්. ඒ වගේම ඔසප් කාලයේ දී කාන්තාවන් බහුලව ලෙස බිය වෙන කාන්දු වීම ගැන මේ යට ඇඳුම් භාවිතයේ දී නැති වෙනවා.

ඔසප් කාලයේ දී විවිධ ගැටලුවලට මුහුණ දෙන කාන්තාවන්ට මේ ක්‍රමය ඉතාම හිතකරයි. නමුත් පොදු ස්ථානයක දී හෝ රැකියාවකට යන කාන්තාවකට නම් මේ ක්‍රමය භාවිතයෙන් එය ඉවත් කිරීමේ දී ඇතැම් අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ නිසා කාන්දු වීමෙන් තොර බවට විශ්වාසී වූ මෙම යට ඇඳුම වෙනත් සනීපාරක්ෂක ක්‍රමත් භාවිත කරමින්ම භාවිත කරන්නට කාන්තාවන් පෙළඹෙනවා.

ඔසප් කාලය කියන්නේ කාන්තාවක් නිරෝගී යන්න එනම් කවදා හෝ දරුවෙකුට උපත ලබා දීමට තරම් තමන් නිරෝගී සෞඛ්‍යසම්පන්න කාන්තාවක් බවට තහවුරු කරන්නකි. ඔසප් කාලය තුළ විවිධ වෙනස්කම් ශරීරයේ සිදු වූවත්, අපහසුතා දැනුනත් තමන් නිරෝගී බවට දන්වන ඔසප් වීමේ කාලය හැකි තරම් සුවපහසු ලෙස ගත කරන්න නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත කළ යුතුමයි.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

වෙනත් ලිපි – 2021 ලංකාවේ ජනාකර්ශනීය නිරුපිකාවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *