අද දක්වා මිනිස් වර්ගයාගේ දේශපාලන පැවැත්ම අධ්‍යයනය කිරීමේ දී විවිධ රටවල් සහ ජනවර්ග අතර ඇති කර ගත් දේශපාලන ගිවිසුම් ලෝකයේ දිශානතිය තීරණය කළ බව දකින්නට ලැබෙනවා. හැබැයි මේ බොහෝමයක් ගිවිසුම ඇතිවෙලා තියෙන්නේ යුරෝපා ජාතීන් අතර. අද වන විට ආසියාවේ නැගී සිටීමත් එක්ක ඇතැම් ආසියාතික රටවල් ලෝක මට්ටමේ තීරණ ගැනීම සඳහා දායක වුණත් අතීතයේ දී විශේෂයෙන්ම 18 වැනි සහ 19 වන සියවස්වල යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ තීරකයා බවට පත් වුණා.

අපි අද කතා කරන්න යන්නේ ඒ විදිහට ලෝක දේශපාලනය වෙනස් කරන්න සමත් වුණ ගිවිසුම් කීපයක් පිළිබඳව.

1. පැරිස් ගිවිසුම (The Treaty of Paris)

ඇමරිකා එක්සත් ජනපදය දේශපාලනික වශයෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම මේ ගිවිසුම මගින් සිද්ධ වුණා. එහි දී ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් අරගලයේ දී සහයෝගයෙන් කටයුතු කළ ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ අරමුණ වූයේ ඇමරිකා එක්සත් ජනපදය දුර්වල රාජ්‍යයක් ලෙස ස්ථානගත කිරීමයි.

නමුත් තම යටත්විජිතයට නිදහස දීම සිද්ධ වුණත් එක්සත් රාජධානිය ඉතා දූරදර්ශී ලෙස ඇමරිකා එක්සත් ජනපදයට ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඉදිරියේදී නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මෙම ගිවිසුම හරහා සිය දායකත්වය ලබා දුන්නා.

2. උතුරු අත්ලාන්තික් ගිවිසුම

ඇතැම් අවස්ථාවල වොෂින්ටන් ගිවිසුම ලෙසද හැඳින්වෙන මෙම ගිවිසුම මගින් නේටෝ සංවිධානය නිර්මාණය වීම සිදු වුණා. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප්‍රමුඛ බටහිර යුරෝපයේ රටවල් ඇතිකරගත් මෙම එකඟතාවය මගින් නැගී එන සෝවියට් රුසියානු තර්ජනයට එරෙහිව පොදු එකඟතාවයකට පැමිණීමට මේ හරහා ඔවුන්ට හැකියාව ලැබුණා.

3. වර්සායි ගිවිසුම (Treaty of Versailles)

පළමු ලෝක යුද්ධය අවසානයේදී පරාජිත ජර්මනිය සහ විජයග්‍රාහී රටවල් අතර ඇතිකරගත් මෙම ගිවිසුම අතිශයින්ම ජර්මනියට අවාසි සහගත වුණා. වියානා කොංග්‍රසයෙන් ප්‍රංශයට සැලකූ සේ ජර්මනියට සාධාරණව සැලකීමට විජයග්‍රාහී රටවල් උත්සාහ කළේ නැහැ.

එහි අනිටු ප්‍රතිවිපාක එම රටවල්වලට ඉන් දශක කිහිපයක් ගතවන්නටත් පළමුව විඳීමට සිද්ධ වුණා. ඒ දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට ජර්මනියම මුල පිරීම නිසා.

4. ටොඩේසියස්හි ගිවිසුම (Treaty of Tordesillas)

ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර ඇතිකර ගත් මෙම ගිවිසුම සඳහා මැදිහත්කරු විදිහට ක්‍රියා කළේ පාප් වහන්සේ. මේ හරහා යුරෝපයෙන් පිටත සොයාගත් රටවල්වල බලය මේ රාජධානි දෙකට පැවරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්පාඤ්ඤයට මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ වැඩි කොටසක හිමිකාරීත්වය ලැබුණු අතර පෘතුගාලයට ඊට නැගෙනහිර කොටසේ හිමිකාරීත්වය පැවරුණා.

එසේම වස්කෝද ගාමා ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව පෙරදිග වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීමට පෘතුගාලයට හැකියාව ලැබුණා.

5. වියානා කොංග්‍රසය (The Congress of Vienna)

නැපෝලියන්ගේ පරාජයෙන් පසුව යුරෝපා රාජ්‍ය අතර ඇතිකරගත් මෙම ගිවිසුම මගින් සියවසක පමණ කාලයක් පුරාවට යුරෝපයෙහි සාමකාමී පරිසරයක් ඇති කිරීමට අඩිතාලම යොදනු ලැබුවා. වර්තමාන ඉතිහාසඥයන් ප්‍රතිගාමී ගිවිසුමක් ලෙස හැඳින්වුවත් සාමකාමී කාලයක් යුරෝපයට උදා කිරීම පිළිබඳව ඊට ගෞරවය හිමිවිය යුතු බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

මෙම ගිවිසුමේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ පරාජයට පත් වූ ප්‍රංශය පවා එහි කොටස් කාරයකු බවට පත්කර ගැනීමයි.

6. වෙස්ට්ෆාලියා සාමය (The Peace of Westphalia)

තිස් අවුරුදු යුද්ධය අවසානයේ දී ඇතිකරගත් එකඟතා දෙකකින් මෙම ගිවිසුම සමන්විත වෙනවා. මේ හරහා එතෙක් යුද වැදෙමින් සිටි රෝමානු කතෝලික සහ ප්‍රොතෙස්තන්ත රාජ්‍ය අතර දිගුකාලීන සාමයකට මුල පුරනු ලැබුවා. ආරම්භයේදී මෙහි ප්‍රතිලාභ ලැබුණේ යුරෝපයට පමණක් වුවත් වර්තමානයේ දී බලන කල එය ලෝක මට්ටමේ සාධනීය ප්‍රතිඵල ලබා දී තිබෙනවා.

රාජ්‍ය සහ රට වැසියන් කෙරෙහි එම රාජ්‍යයේ බලපෑම කෙසේ විය යුතු දැයි යන්න පිළිබඳව අඩිතාලම දැමීම මෙම ගිවිසුම් මඟින් සිද්ධ වුණා.

7. පැරිස් සාම ගිවිසුම් (Paris Peace Treaties)

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී ඇතිකරගත් මෙම ගිවිසුම් මගින් යුරෝපයේ අනාගතය තීරණය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මනිය බෙදා වෙන් කොට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන් සහ සෝවියට් රුසියා පාලනයට නතු වුණා සේම ජර්මනියේ සගයන් ලෙස කටයුතු කළ ඉතාලිය, බල්ගේරියාව වැනි රටවල්වලට ස්වාධීන රටවල් ලෙස තවදුරටත් කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසුණා.

එහි දිගු කාලීන ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වීමත් සලකන්නට පුළුවන්.

වෙනත් ලිපි – ලෝකෙ ඉදිරි ගමන වෙනස් කළ සොයාගැනීම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *