ශ්‍රී ලංකාව විවිධ ජාති ආගම් අදහන මිනිස්සු ඉන්න රටක්.අපි කලින් දවසක බෞද්ධ ආගමත් එක්ක බැඳුණු ඒත් ආගම් බේදයකින් තොරව වන්දනා කරන ස්ථාන කිහිපයක් ගැන විස්තර කළා.

බෞද්ධ ආගමට පසුව ශ්‍රී ලංකාවේ ආගම් බේදයකින් තොරව වන්දනා කරන කතෝලික ආගම හා බැඳුණු කතෝලික පල්ලි කිහිපයක් ගැනයි මේ විස්තර කෙරෙන්නෙ.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න!

1. මඩු පල්ලිය

කතෝලික ජනයාගේ අතිමහත් ගෞරවයට ලක් වූ මඩු පල්ලිය ශ්‍රී ලංකාවේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මරුද මඩු ජපමාල මාතාවන් ලෙස හඳුන්වන ඓතිහාසික ප්‍රතිමාව තැන්පත් කර තිබෙන්නේ මෙම මඩු පල්ලිය තුළයි. LTTE ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති මඩු පල්ලිය එකළ ජනතාව තහනම්ව තිබිණ. බෝම්බ අතුරා ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂාව මැද තිබූ මෙම සිද්ධස්ථානය 2008 අප්‍රේල් 25 වැනිදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 වන සේනාංකයේ 572 බලසේනාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත්තේය.

සෑම වසරකම අගෝස්තු මස පහළොස්වන දින (15) මඩු මංගල්ලය පැවැත්වේ. ආගමික අන්‍යාගමික විශාල ජනතාවක් මාස සති ගණන් මේ මංගල්ලය වෙනුවෙන් මඩු පල්ලිය අවට කූඩාරම් ඉදි කරවාගෙන ලකලෑස්ති වෙති. සිංහල දෙමළ ජාති බේදයකින් තොරව මඩු මෑණියන්ගේ සරණ සොයා එන ජනතාව මඩු පල්ලියේ දී දැකගත හැකියි.

2. තලවිල පල්ලිය

සාන්ත ආනා මුනිෂ්වරියට කැපකළ තලවිල පල්ලිය කතෝලික ජනතාව ඉමහත් ගෞරවයෙන් සහ ආදරයෙන් වන්දනා කරන සිද්ධස්ථානයකි. කල්පිටියේ පිහිටා තිබෙන මෙම දේවස්ථානය ශ්‍රී ලංකාවේ පැරණිතම දේවස්ථානයකි. තලවිල පුදබිමට පා තබන කිසිවෙකුත් ආනා මුනිෂ්වරියගේ පිහිට නොලබා නැවත නොයන බව කතෝලික ජනයා විශ්වාස කරති.

තලවිල දේවස්ථානයේ මංගල්ලය අගෝස්තු මාසයේ පැවැත්වේ. එම කාලයට තලවිල භූමිය එකම හිස් ගොඩකි. මංගල්ලය පැවතෙන දිනට මාසයකට පමණ පෙර සිටම කූඩාරම් ගසා ගනිමින් දේව මෙහෙයන්ට සහභාගී වන බැතිමතුන් විශාල වශයෙන් දැකිය හැක.

3. කොච්චිකඩේ පල්ලිය

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ශාන්ත අන්තෝනි මුනිතුමන් වෙනුවෙන් කැප කළ දේවස්ථානයකි. නැති වූ වස්තුන් සොයා දෙන බව විශ්වාස කරන ශාන්ත අන්තෝනි මුනිතුමන් කෙරෙහි කතෝලික බැතිමතු ජාති බේදයකින් තොරව වන්දනා මාන කරනු ලබයි. මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබෙන අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාව ඉන්දියාවේ ගෝවේ නගරයෙන් රැගෙන එන ලද්දක් වන අතර එහි පුරාවෘත වටිනාකමක්ද පවතී.

ආගම් බේදයකින් හෝ ජාති බේදයකින් තොරව මෙම දේවස්ථානයට පැමිණ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බාරහාර වෙමින් පිහිට යදින ජනතාව දැකිය හැකි අතර අඟහරුවාදා දිනයේ දී විශේෂ දිව්‍ය පූජාවන්ද පැවැත්වේ. 2019 වර්ෂයේ දී පාස්කු ප්‍රහාරයෙන් මෙම දේවස්ථානයටද දැඩි හානි සිදු විය.

4. බැසිලිකා දේවස්ථානය

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ පිහිටි බැසිලිකා දේවස්ථානය මරියතුමිය වෙනුවෙන් කැප කළ දේවස්ථානයකි. ලංකාවේ අප ස්වාමිදූ නමින් ද මේ දේවස්ථානය ප්‍රකටව පවතිනවා. දෙවන ලෝක යුධ සමයේ දී ශ්‍රී ලංකාව ආරක්ෂා කරදෙන මෙන් මරියතුමියට බාරයක් වූ මේරි මසොන් පියතුමා විසින් එම බාරය ඔප්පු කිරීම ලෙස මේ දේවස්ථානය ඉදි කරන්න මුල පිරූ බවයි අතීත කතාවල සඳහන් වෙන්නේ.

මෙම දේවස්ථානය රබර් ගස් පිරි උස් කඳු මුදුනක පිහිටා ඇති ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් ලබා ගනිමින් කළුගල් භාවිත කරමින් නිර්මාණශීලීව ඉදිකළ දේවස්ථානකි. වාර්ෂිකව අගෝස්තු මස අවසන් ඉරු දින පැවැත්වෙන රෝගීන්ගේ මංගල්‍යයට ලංකාවේ දසදෙසින් කතෝලික බැතිමතුන් සහ අන්‍යාගමිකයන්ද බැසිලිකා දේවස්ථානය වෙන පැමිණෙන්නේ සිත් තුළ රඳවාගත් අධික විශ්වාසයෙනි.


මෙම දෙව් මැදුර ඉදිකිරීමට පුරෝගාමී වූ ස්වර්ගස්ථ වූ අතිඋතුම් කාදිනල් තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ගේ ශ්‍රී දේහය මෙම දෙව් මැදුරේ තැන්පත් කර තිබේ. බැසිලිකා දේවස්ථානයට පැමිණ ලෙඩ දුක් සුවවීමට භාර වීමෙන් එම ලෙඩ රෝග සුව වන බවට කිතුණු බැතිමතුන් අතර දැඩි විශ්වාසයක් පවතියි.

5. කුරුස පල්ලිය

මාරවිල පිහිටි කුරුස පල්ලිය කතෝලික බැතිමතුන්ගේ වඩාත් ජනාදරයට පත් දේවස්ථානයක් වේ. මේ පල්ලිය සාමාන්‍යයෙන් අපි දකින පල්ලිවලට වඩා ටිකක් වෙනස්. මුල් කාලයේ දී ජේසුතුමා කුරුසියේ ඇණ ගසා තිබෙන පිළිරුවක් පමණක් තිබුණත් බැතිමතුන් ඒ පිළිරුව ඉදිරියේ වැඳ වැටෙමින් විශ්වාසයෙන් යාච්ඤා කර තිබෙනවා. පසු කාලීනව ඒ වටා කුඩා දේවස්ථානයක් ආකාරයෙන් ඉදි කිරීමක් සිදුකර තිබෙන්නේ.

දේවස්ථානයේ මැද පමණක් සිමෙන්ති තීරුවක් තිබෙන අතර දෙපස තිබෙන්නෙ සිනිඳු වැල්ල පමණයි. අසුන් ගැනීමට පුටු හෝ බංකු නැත. නමුත් වැලි මත දණ ගසාගෙන විශ්වාසයෙන් යුතුව ඉල්ලන කිසිවක් නොලැබී නොයන බව කතෝලික බැතිමතුන් පමණක් නොව අන්‍යාගමික විශ්වාසකයින්ද පවසන්නක් වේ.

මේ දේවස්ථානයට එන බැතිමතුන් වෙරළේ පිහිටි මරියතුමියගේ ප්‍රතිමාවද වැදපුදා ගැනීමට අමතක කරන්නෙ නැහැ. මාරවිල කුරුස පල්ලියේ වාර්ෂික මංගල්ලය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙනවා.

තවත් මේ වගේම කතෝලික ආගම හා බැඳුණු බැතිමතුන්ගේ විශ්වාසය දිනාගත් දේවස්ථාන ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙනවා.

රශ්මි මහේෂා ප්‍රනාන්දු

වෙනත් ලිපි – ලංකාවේ හැමෝම වන්දනා කරන්න කැමති බෞද්ධාගමික ස්ථාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *