සුවහසක් බලාපොරොත්තුවෙන් යුග දිවියට පිවිසෙන ඕනෑම කෙනෙක්ගේ ඊළඟ බලාපොරොත්තුව පුංචි කැදැල්ලට දරු පැටියෙක් අරන් එන එක. ඉතින් මේ බලාපොරොත්තුව ඉටුකරගන්න යුවතියක් අසීමිත කැපකිරීම් කළ යුතුයි. නිරෝගී දරුවෙක් බිහි කරන්න ගර්භනී කාලයේ ඉතා නිරෝගිමත්ව ගත කළ යුතුයි.

ඒ නිසා මවක් වීමට පූර්වයේ සිටම යුවතියක් විසින් කළ යුතු කාර්යයන් රැසක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙනවා.

අපේ වැදගත් සහ රසවත් ලිපි පළවූ සැණින් කියවන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න !

1. පෝෂණය පිලිබඳ සැලකිලිමත් වෙන්න

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින සෑම යුවතියක්ම මනා ලෙසින් සිරුරේ බර පාලනය කළ යුතුය. විශේෂයෙන්ම පෝෂදායි ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ මනා පෝෂණ තත්ත්වයෙන් නොසිටියොත් එය දරුවාගේ නිරෝගී බවටද බලපාන්න පුළුවන්.

2. ෆෝලික් ඇසිඩ් අනිවාර්යයෙන් ලබා ගන්න

අපි ගන්නා ආහාර වල දැන් එතරම් පෝෂණ ගුණයක් නැහැ. ඒ නිසාම වර්තමානයේ ආහාර වලින්ම අපට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවන ලබා ගැනීමට අපහසු යි. ඒ නිසා මවක් වෙන්න සැලසුම් කරන ඔබ අනිවාර්යයෙන් පිලිසිඳ ගැනීමට පෙර ෆෝලික් ඇසිඩ් ලබා ගෙන තිබීම ඉතාමත් වැදගත්.

ගර්භණී බව ලබන්න සූදානම් වන කාන්තාවක් නම් ඔබ, ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එකක් අනිවාර්යයෙන් ලබා ගන්න ඕනෑ. බබාගේ ස්නායු පද්ධතිය නිර්මාණය කරන්න ෆෝලික් ඇසිඩ් වලින් විශාල කාර්යයක් ඉටු කරනවා. කලින් නිර්දේශ කළේ විවාහයට මාස තුනකට පෙර ෆෝලික් ඇසිඩ් ගන්න වුණත් ඇත්තටම දියණියක් වැඩිවියට පැමිණි දා ඉඳන්ම ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එකක් ගැනීම ඉතා හොඳයි කියල වර්තමානයේ නිර්දේශ කරනවා.

නමුත් අවමව විවාහයට මාස තුනකට කලින් හෝ ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එක ගන්න. විවාහ වූ මුල් දිනවලම සමහර කාන්තාවන් ගර්භනී වන නිසා ඒ අවස්ථාවට පෙර සිටම ෆෝලික් ගෙන තිබීම වැදගත්.

3. රුබෙල්ලා එන්නත ලබා ගෙන ඇති බව තහවුරු කරගන්න

කුඩා කාලයේ ගැහැණු දරුවන්ට රුබෙල්ලා එන්නත ලබා දෙනවා. එය ලබා ගන්න නොහැකි වුණානම් විවාහ වූවාට පසු හෝ ලබා ගන්න. එන්නත විදීමෙන් පසු මාස තුනක් යනතුරු දරු පිළිසිඳ ගැනීමකට ලක් වෙන්න එපා.

4. නීරෝගී සෞඛ්‍ය තත්ත්වයක් තිබීම

දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය, මානසික රෝග සහ හෘදය ආශ්‍රිත රෝග මෙන්ම දීර්ඝ කාලීනව පවතින රෝග ගර්භනීභාවය කෙරෙහි අහිතකර ලෙස බලපාන්න පුළුවන්. එවැනි රෝගයක් නිශ්චය කර ගත් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වී ඒවා පාලනය කර ගැනීමට හෝ ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීම අත්‍යවශ්‍යයි.

ගර්භණී කාලයේ ඔබ ලබාගන්නා සෑම ඖෂධයක්ම වෛද්‍ය නිර්දේශයකින් පමණක් ලබා ගත යුතුයි.

5. ශරීරයේ බර පාලනය කර ගැනීම

ඔබ තරබාරු කෙනෙක් නම් ක්‍රමයෙන් ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීම ඉතා වැදගත්. එසේ නොවුනහොත් ඔබට ගැබ් ගැනීමට වගේම දරු ප්‍රසූතියටද ගැටලුවක් වන්නට පුළුවන්. ශරීරයේ තරබාරු බව නිසා ගර්භනී කාලයේ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ ඉතාම වැඩියි. මෙවැනි ගැටළු දරුවාගේ සෞඛ්‍යය කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්.

ඒ වගේම තමයි නියමිත බරට වඩා බර අඩු වුනොත් අඩු බර දරු උපත් හා බෝනොවන රෝග වලට ලක්වීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්.

6. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පරික්ෂා කරගන්න

මවක් වීමට සිටින ඔබ අනිවාර්යයෙන්ම ඔබේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම පරික්ෂා කර ගත යුතුයි. මොකද හිමොක්ලොබින් මට්ටම අඩු වුනොත් දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුලුවන්. එය දරුවාගේ වර්ධනය කෙරෙහි බලපානවා. ඒ කියන්නේ විවිධ අඩුපාඩු සහිත දරු උපතක් සිදු වීමේ ඉඩකඩ බහුලයි. ඒ විතරක් නෙමේ මවගේ ජීවිතයටත් අවදානමක් ගෙනදෙන්න පුළුවන්.

7. ලේ ඥාති විවාහ වලට යොමු වෙන්න එපා

බොහෝ ජානමය රෝග ඇතිවීමට මූලික බලපාන කාරණයක් නිසා මේ කාරණය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

8. අවුරුදු 18-35 අතර වීම වැදගත්

බෝ නොවන රෝග ඇති වීමේ ඉඩ අවුරුදු තිස් පහෙන් පසු වැඩි නිසා පිළිසිඳ ගැන්මකට ඒ වයස් සීමාවට පෙර යොමු වන්න. අවම වශයෙන් පළමු පිළිසිඳ ගැනීමවත් වයස අවුරුදු 35 පෙර සිදුවීම ඉතාමත් වැදගත්.

9. රැකියාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න

විකිරණ අංශයේ රැකියා කරනවා නම් ඔබේ ආයතන ප්‍රධානින් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පිළියම් ලබා ගැනීමත් ඉතා වැදගත්.

10. මත්පැන් පානය කරන්න එපා

ශ්‍රී ලංකාවේ බහුතරයක් නැතත් සුළු වශයෙන් මත්පැන් පානය කරන කාන්තාවන් ඉන්නවා. විශේෂයෙන්ම ඔබ දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් කිසිම ආකාරයෙන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වැලකී සිටින්න. එය දරුවාගේ සෞඛ්‍යයටත් ඔබගේ සෞඛ්‍යයටත් බෙහෙවින් වැදගත් වෙනවා.

මේ කාරණා ගැන සැලකිලිමත් වී දරුවෙකු ගැන හිතන්න. ඔබට නිරෝගී දරුවෙකුගේ සිනා දකින්න හැකි වේවි. ඔබේ සුන්දර සිහිනය වෙනුවෙන් Life Diary අපේ සුබ පැතුම්!

වෙනත් ලිපි – දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවීමේදී මේ දේවල් ඔබට අවශ්‍ය වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *