නිරෝගී මනුෂ්‍ය සමාජයක මූලාරම්භය වන්නේ ගැහැනියයි. දරුවන් බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැඩගැස්වීම හා හැකියාව කාන්තා සිරුරට හිමිවීම මීට හේතු වෙනවා. ඒ හා සම්බන්ධ ප්‍රධානතම ක්‍රියාවලියක් ලෙස ඔසප් වීම හඳුන්වන්න පුළුවන්. වැඩිවියට පත්වූ සෑම නිරෝගී කාන්තාවක්ම දින 28කට වරක් මෙම සිදුවීමට මුහුණ දෙන අතර ලෝකයේ කාන්තාවන් අතරින් 15%කට වැඩි ප්‍රතිශතයක් මෙම ඔසප් වේදනා අවදියේ දී ශාරීරික හා මානසික අපහසුතා වලට ලක් වෙනවා.

බොහෝ විට දරු උපතෙන් පසුව මෙම තත්වය මඟහැරුන ද ඇතැම් කාන්තාවන් ආ‍ර්තවාහරණය දක්වා ඔසප් සමයේ ශාරීරික අපහසුතා වලට මුහුණ දෙනවා. ඇතැම් විට මෙම අපහසුතා උග්‍ර වීමට කාන්තා ඔබගේ ආහාර රටාව හේතුවෙන්න පුළුවන්. ඒ නිසා ඔසප් කාල සීමාව තුළ කාන්තාවන් ආහාර කෙරෙහි දැක්විය යුතු සැලකිල්ල පිළිබඳ මේ ලිපියෙන් ඔබට දැනුවත් විය හැකියි.

1. පලතුරු වර්ග

කොමඩු, පිපිඤ්ඤා වැනි ජල ප්‍රතිශතය ඉහළ පලතුරු වඩාත් සුදුසු වෙනවා. පැපොල් වැනි පලතුරු ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන් සඳහා වඩා සුදුසු වන්නේ මාංශපේෂී හකුලා ඔසප් වීම ආරම්භ කිරීමට දායක වන නිසයි.

2. කොළ පැහැති එළවළු

ඔසප් සමයේ දී අධික රුධිර වහනයක් ඇතිවිට තෙහෙට්ටුව, ශාරීරික වේදනාව හා කරකැවිල්ල ඇතිවීමට යකඩ මට්ටම පහළ බැසීම හේතුවෙනවා. කොළ පාට එළවළු මගින් යකඩ මට්ටම ඉහළ නංවනවා. නිවිති වැනි මැග්නීසියම් වලින් පොහොසත් එළවළු වඩාත් සුදුසුයි.

3. ඉඟුරු

ඉඟුරු මගින් ප්‍රොස්ටග්ලැන්ඩින් නියාමනය කර මාංශපේෂී වේදනාව හා ඔක්කාරය අඩුකරනවා. ගර්භනී සමයේ පළමු ත්‍රෛමාසිකය තුළ ඇතිවන ඔක්කාරය හා වමනය අවම කීරීමට ඉඟුරු දායක වෙනවා. මෙහි අඩංගු විටමින් C හා මැග්නීසියම් මගින් ගර්භාෂ බිත්තිය හකුලුවා ඔසප්වීම ආරම්භ කරනවා. නමුත් දිනකට 4gට වඩා පරිභෝජනය අජීර්ණ හා උදර වේදනාව ඇති කරන්න පුළුවන්.

4. කුකුළු මස් හා මාළු

කුකුළු මස් හා මාළු වල යකඩ හා ප්‍රෝටීන් බහුල බැවින් කුකුළු මස් හා මාළු ආහාරයට ගැනීම සුදුසුයි. මෙහි අඩංගු ඔමේගා 3 මේද අම්ල මගින් වේදනාවේ තීව්‍රතාව අවම කරන අතර මානසික අවපීඩනය අවම කීරීමට දායක වෙනවා.

5. කහ හා කුරුඳු

කහ වල ප්‍රධාන ක්‍රියාකාරි ද්‍රව්‍ය වන curcumin ඔසප් සමයේ අපහසුතා අවම කරනවා. කුරුඳු වලින් ඔසප් චක්‍රය ක්‍රමවත් කරන අතර ශරීරය උණුසුම් කර ප්‍රමාද වූ ඔසප් වීම ආරම්භ වීමට දායක වෙනවා.

6. චොකලට් (dark chocolate)

යකඩ හා මැග්නීසියම් වලින් පොහොසත් චොකලට් ඔසප් සමයේ ආහාරයට ගැනීම සුදුසුයි. ඒ වගේම දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 67%ක් හා මැග්නීසියම් වලින් 58%ක් චොකලට් 100gක අඩංගු වෙනවා.

7. Nuts,පරිප්පු හා බෝංචි

Nuts වර්ග වල බොහෝ විට ඔමේගා-3 මේද අම්ල අඩංගු වන අතර එය ප්‍රෝටීන් වල හොඳ ප්‍රභවයක්. එසේම මේවායේ මැග්නීසියම් හා විවිධ විටමින් අඩංගු වෙනවා. පරිප්පු නිර්මාංශිකයන් සඳහා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වගේම යකඩ වලින් පොහොසත් ආහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

8. යෝගට්

ප්‍රෝබයෝටික් වලින් පොහොසත් බැවින් යෝගට් මගින් යෝනිමාර්ගයේ හිතකර බැක්ටීරියා වර්ධනය ඉහළ නංවා ආසාදන අවම කිරිමට දායක වෙනවා.ඒවගේම යෝගට් කැල්සියම්, මැග්නීසියම් හා වෙනත් අත්‍යවශ්‍ය පෝෂක වලින් සමන්විතයි.
මීට අමතරව ඔසප් සමයේදී ටෝෆු, කෝමාරිකා, රතු සහල්, ඕට්ස් වැනි ආහාර ගැනීම සුදුසුයි.


දිල්ශානි තිසංජුලා

වෙනත් ලිපි – ජනතා අරගල හමුවේ ගෙදර ගිය දේශපාලන නායකයෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *