මේ කාලෙ හැමෝටම අමාරු කාලයක්. රටේ තත්ත්වෙත් එක්ක අපිට හැඩගැහෙනවා හැර වෙන විකල්පයක් අපිට ඉතුරු වෙලානෑ. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ ආර්ථික අර්බුදය කාලේ කොහොමහරි ගෙවාගන්න කටයුතු කරන්න මේ ටික කියවලා බලන්න. ඉතින් මේ උපදෙස් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.

1) ගෙදරදොර පාලනය වෙනදට වඩා සැලකිලිමත් වෙන්න

විශේෂයෙන්ම මේ අධි උද්ධමනය හමුවේ කෑම වල ගණන් වැඩි වෙලා තියනවා. ඒ නිසා අරපිරිමැස්මෙන් කටයුතු කරන්න ඕනේ කාලයක්. ගෑස් ප්‍රශ්නය නිසා බල්ක් කුකින් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. එළවළු ගෙනාවම සෝදලා පිහලා ෆ්‍රිජ් එකටදාන්න. නැත්නම් කොළ වගේ ඒවා මැලවුනාම නාස්තියක්. ෆ්‍රිජ් එක රෑට ඕෆ් කරලා උදේට ඔන් කරන්න.

රෑට ෆ්‍රිජ් එක අරින්නෙ නැති නිසා කූල් එක එහෙම්මම තියනවා. සබන්, සෝදන ද්‍රව්‍ය පරිස්සමින් පාවිච්චි කරන්න. විදුලි බිල තුන් හතර ගුණයකින් ඉහල යෑමට නියමිත නිසා ඉලෙක්ට්‍රික් උපකරණ භාවිතය අවම කරන්න. කලින් බ්ලෙන්ඩර් එකේ පොල් මිරිකුවනන් දැන් අතින් මිරිකන්න. ඒ පොල්කුඩු එකතු කරලා තෙල් හිඳින්න ගන්න. නිකරුනේ රෙදි සෝදන්න නොදා කිලිටිම ඒවා බලලා සෝදන්න.

2) ගෙවතු වගාව පටන් ගන්න

ඔයාට තියෙන්නෙ ලොකු වත්තක්ද , පොඩි ඉඩක්ද කියන දේ අදාළ නෑ පුලුවන් හැමෝම මේ වෙලාවෙ මොනවහරි හිටවන්න. ඉඩකඩ තියන අය පාත්ති හදලා එළවළු ඇට, පලාවර්ග වගේ අපිට සාමාන්‍යයෙන් වගා කරන්න පුලුවන් සියල්ලක්ම හිටවන්න. වත්තෙ හිටවන්න ඉඩ නැතිනම් හාල් බෑග් වල, ඉටිකොළ උර හෝ ප්ලාස්ටික් බෝතල් වලට හිල් විදලා උනත් වගා කරන්න පුලුවන්.

ගෙදර බැල්කනියේ, වහලෙ උඩ, පේමන්ට් එකේ මේ කොහෙ උනත් වගාව හරියට කරනවනම් සරුවට වැඩෙනවා. රජයෙනුත් ගොඩක් බීජ හා පැල වර්ග දෙනවා. ඒ වගේම තියන අයගෙන් ශෙයා කරගෙන උනත් වගා කරන්න පුලුවන්. වේළක් පිරිමහගන්න තරම් එළවළුහා පලා ලැබුණොත් මේ ආර්ථිකේ හැටියට කොයිතරම් දෙයක්ද.

3) වැඩිපුර තියෙන දෙයක් අන් අය එක්ක බෙදාගන්න

අපේ වත්තෙ වගාකරපු එළවළු, කොස්, දෙල් වගේ කෑම අපිට පුලුවන් අනික් අයත් එක්ක බෙදාගන්න. කොස් ගෙඩියකින් වේලක් පිරිමහගන්න පවුල් මේ වෙනකොට ලංකාවේ කීයක් නම් ඉන්නවද කියලා දන්නවද. ඒ වගේම වේලක් නොකා ජීවත් වෙන්න වෙලා තියන අයත් ඉන්නවා.

ඉතින් අපි ගාව වැඩිපුර තියන පිසිනලද කෑමක්, එළවළු, පළතුරු වගේ දේවල් පුලුවන් නම් අපි අසල්වැසියන් එක්ක බෙදාගමු. ඒ වගේම අපිට නැති වෙලාවකදිත් අනිවාර්යෙන්ම අපිට ඒ දේවල් ලැබෙයි. මේවා පොඩි දරුවන්ටත් පුරුදු කරන්න ඕනේ.

4) අනවශ්‍ය වියදම් කපා හරින්න

ඔයා ඉස්සර මාකට් ගියාම ගන්න බඩු ප්‍රමාණෙන් භාගයක්වත් දැන් ගන්න බෑ නේද… ඔව් ඒක තමා උද්ධමනයෙන් අපිට අත් වෙලා තියන දේ. ඉතින් කලින් ගත්තු අත්‍යවශ්‍ය නොවන දේවල් වලට දැනුත් වියදම් කරනව නම් ඒක ගොඩක් හිතන්න ඕනේ කාරණාවක්.

අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකකම මිල ගොඩක් ඉහළ ගිහින් තියන වෙලේ ක්ෂණික ආහාර, අත්‍යවශ්‍ය නොවන ආහාරවලට වියදම් නොකර ඉන්න. ඒ වගේම කෙටි සාද, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්, විනෝද චාරිකා මේ කාලෙ පොඩ්ඩක් පහුකරන්න. ඇඳුම් පැලඳුම් වලට උනත් වැඩිය වියදම් කරන්න එපා. තියන දේවල් අරපරිස්සමෙන් පාවිච්චි කරන්න.

5) කරන රැකියාව හෝ ව්‍යාපාරය දුෂ්කර වුවත් අත් නොහරින්න

සමහරු කරන රැකියාව එච්චරම ආසාවකින් නෙමෙයි කරන්නෙ. ඒ වගේම සමහරු රැකියාව මාරු කරන්න හිතාගෙන ඉන්න ඇති. ඒත් මේ ඒකට කාලෙ නෙමෙයි. ඔයා රැකියාව කරන ස්ථානයෙන් පඩි ගෙවන්නෙත් අමාරුවෙන් වෙන්න පුලුවන්. ඒත් ඔයා මේ වෙලාවෙ කොහොමහරි රැකියාව ආරක්ෂා කරගන්න ඕනේ. නැතිනම් ලොකු අමාරුවක වැටෙන්නෙ. හොඳ ඔෆර් එකක් ආවොත් යන එක ගැන නෙමෙයි මේ කියන්නෙ. රැකියාවක් නැතුව නම් හිටපු රැකියාවෙන් අයින් වෙන්න එපා. ඒ වගේමයි ව්‍යාපාර.

මේ වෙනකොට රටේ තත්ත්වෙත් එක්ක සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ගොඩක් වැසීගෙන යනවා. කෑම සම්බන්ධ ව්‍යාපාර විශේෂයි. එත් අපිට පුලුවන් විදියට ආදේශක හරි යොදාගෙන අපි ව්‍යාපාරය කරගෙන යනවනම් අපිට මේ තත්වෙට මුහුණ දෙන්න පුලුවන්. ඔයාලට එන පාරිභෝගිකයො උනත් මේ පීඩිත අවස්ථාවට මුහුණ දෙන අය. ඉතින් දෙගොල්ලොම එකතු වෙලා මේකෙන් ගොඩ යන්න උත්සහකරන එකයි වටින්නෙ.

6) නිතරම මනසින් නොවැටී සිටීමට උත්සහ කරන්න

මේ අර්බුද කාලේ සියදිවි නසා ගැනීම් වාර්තා වෙනවා. එක් එක් අයගෙ මානසික මට්ටම් වෙනස් උනත් ඔයාට මනසින් අපහසුබවක් දැනෙනවා නම් දන්න කෙනෙක් එක්ක කතා කරන්න. ගොඩක්ම අපහසු නම් ඉක්මනින් ප්‍රතිකාර ගන්න. ගන්න පඩිය හෝ උපයන ආදායම ජීවත් වෙන්න මදි තමා. ඒක මේ කාලෙ හැමෝටම තියන ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැමෝම හැමදෙනා ගැනම හිතලා වැඩකරන්න ඕනේ.

මේ කාලේ දරාගන්න අපහසුම පොඩි ලමයින්ට ආහාර හා බේත් හිඟකම. ඒවා මතක් වෙනකොට දරාගන්න බැරි දුකක් එනවා. අපිට පුලුවන් විදියට අනික් අයට උදව් කරගෙන හැමෝම එක වගේ උදව් කරගෙන ජීවත් වෙමු.

7) මගතොටේදි හමුවන අයට කාරුණික වෙන්න

මේ වෙනකොට ලංකාවෙ ගොඩක් අය ගෑස් පෝලිම් වල එහෙමත් නැතිනම් තෙල් පෝලිම් වල. ඒ වගේම පොදු ප්‍රවාහනයේ දරන්න බැරි තරම් මිල ඉහලයි. ඉතින් මෙහෙම යන එන වෙලාවට මිනිස්සුන්ගෙන් වෙන සුළු සුළු අත්වැරදීම් ලොකුවට තකන්න එපා. හැමෝම පීඩනයකින් ඉන්න වෙලාවක් මේක. පෝලිම් වලදි පුලුවන් විදියට එකිනෙකාට උදව් කරගන්න.

බස් එකේදි ඉතුරු රුපියල නැති උනොත් කුපිත වෙන්න එපා. ඒ වගේම කෙනෙක් අත පෑවොත් තත්ත්වය බලලා පුලුවන් උපකාරයක් කරන්න. කෙනෙක් මොනවහරි අලවි කරනකොට කේවල් නොකර මිලට ගන්න. හැකිතරම් කුඩා පරිමාණ වෙළදුන්ගෙන් මිලට ගන්න.

වෙනත් ලිපි – කට වහරින් පැමිණි විද්‍යාත්මක ආහාර පුරුදු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *